නවලෝකෙත් ඇට මිදුළු සැත්කම්


ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කම් සිදුකිරීමට නවලෝක රෝහල සැරසේ.

ඇටමිදුළු යනු අස්ථී කුහර වල පිහිටි සුමුදු පටක වර්ගයක් වන අතර ඒවායේ කාර්යය වන්නේ රතු රුධිරාණු නිපදවීමයි.රතු රුධිරාණු යනු සිරුර පුරා ඔක්සිජන් පරිවහණයට කිරීමට වැදගත් වන සිරුරේ පැවැත්මට අත්‍යාවශ්‍ය සාධකයකි.

ලියුකේමියාව, තැලසීමියාව, අස්ථී දිරා යාම වැනි රෝග නිසා ඇටමිදුළුවල ක්‍රියාකාරීත්වයට බාධා පැමිණේ.එවිට සිරුරට රතු රුධිරාණු සැපැයීම අඩු වන අතර තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් අත්වනුයේ මරණයයි.

මෙයින් මිදීමට ඇති එකම මග ඇටමිදුළු බද්ධ කිරීමයි.එහිදී රෝගියාගෙන්ම හෝ වෙනත් පුද්ගලයෙකුගෙන් හෝ ලබා ගන්නා ඇටමිදුළු බද්ධ කිරීම සිදුවේ.

ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමද ඉතා සූක්ෂ්ම වන අතර එවන් සැත්කමක් සිදුකර ගැනීමට අවැසි රෝගියෙකු වේ නම් ඔහුට හෝ ඇයට සිංගප්පූරුවට හෝ ඉන්දියාවට යෑමට සිදුවේ.සිංගප්පූරුවේ සිදුකෙරෙන සැත්කමකට රුපියල් ලක්ෂ 140 ක් පමණ වැය වන අතර ඉන්දියාවේදී එයට රුපියල් ලක්ෂ 80 ක් පමණ වැයවේ.

නමුත් නවලෝක රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කම් සිදුකිරීම ආරම්භ කළ පසු එක්  සැත්කමක් රුපියල් ලක්ෂ 30 ක් වැනි මුදලකට සිදුකරගත හැකි වනු ඇති බවයි.

මෙය ශ්‍රී ලංකාවේ ඇටමිදුළු බද්ධ කිරීමේ අවශ්‍යතාවය ඇති රෝගීන්ට ඉතා සුභ ආරංචියක් වනු ඇති බවට සැක නැත.