නීති විරෝධී සංචාරක ආයතනවලට කඩා පනින හමුදාවක්


(විනීතා එම් ගමගේ)

නීති විරෝධී අන්දමින් පවත්වා ගෙන යන සංචාරක හෝටල්, නිවාඩු නිකේතන, සංචාරක නියෝජිතායතන ඇතුළු සංචාරක ක්ෂේත්‍රයට අදාල ස්ථාන පරික්ෂාව සඳහා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය මඟින් විශේෂ කඩා පැනීම් ඒකකයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. 

සංචාරක ව්‍යාපාරයට අදාලව කරගෙන යන ඕනැම ව්‍යාපාරයක් සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ලියාපදිංචි විය යුතු අතර එසේ ලියාපදිංචි නොවී පවත්වාගෙන යන ව්‍යාපාර සියල්ල නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යන ඒවා ලෙස සලකනු ලබයි.

සංචාරක ව්‍යාපාරයට අදාලව දැනට  පවත්වාගෙන යන ව්‍යාපාරවලින් සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී පවත්වා ගෙන යන්නේ සියයට 40 කට ආසන්න ප්‍රමාණයක් යැයි සැලකෙන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.   

ඉදිරියේ දී නව වැටලීම් ඒකකය ආරම්භ කිරීමෙන් පසු එසේ ලියාපදිංචි නොවී පවත්වා ගෙන යන ස්ථාන වටලන බවත් පළමු වරට ඔවුන්ට අවවාද කරන අතර අනතුරුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම නිලධාරියා කීය.