පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය අඩු මට්ටමක


හර්ෂණ තුෂාර සිල්වා

ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේදී සියයට 4ත් 4.5ත් අතර ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (6) ප්‍රකාශ කළේය. 

ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේදී සියයට 5ක ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කළ අතර එය තරමක විශාල අපේක්ෂාවක් යැයි ද මහ බැංකු අධිපතිවරයා පැවැසීය.

වසරේ සිව්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංක මහ බැංකු ශ්‍රවණාගාරයේ අද (6) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා එම කරුණු කීවේය. 

ඉකුත් වසර හා සැසඳීමේදී මේ වසරේ පළමු කාර්තුවේදී ආර්ථිකය වර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 3.2කින් වර්ධනය වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉකුත් ද නිවේදනය කළේය.

ඒ අනුව මේ වසරේ පළමු කාර්තුවේදී මෙරට ආර්ථිකය වර්ධනය අඩු මට්ටමක පැවැති බව කී මහ බැංකු අධිපතිවරයා වසරේ ආර්ථික වර්ධන වේග පදනම සංශෝධනයකට ලක් කරන බව ද කීය. 

ආනයන වැඩිවන සහ ජංගම ගිණුම පුළුල් වන තත්ත්වයක් තුළ පොළී අනුපාත කපා හැරීමට උත්සාහ කළහොත් ගෙවුම් ශේෂ අර්බුදයක් ඇතිවනු ඇතැයි ද අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙහිදි පෙන්වා දුන්නේය.

මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ ද කීය. 

“මැතිවරණ පැමිණෙද්දී ආර්ථික කටයුතු ඉහළ නැංවීම සඳහා ප්‍රතිපත්ති ලිහිල් කිරීමට විශාල පීඩනයක් එල්ල වෙනවා. ආනයන ඉහළ යෑමේ ලක්ෂණ පෙන්නුම් කරන අවස්ථාවක ආර්ථිකයට මුදල් පොම්ප කිරීම බුද්ධිමත් තීරණයක් නෙවෙයි”

ඇමෙරිකා එක්සත් ජනපදය පොළී අනුපාත ඉහළ යෑම නිසා විදේශිකයන්  නැගී එන වෙළෙඳපොළවලින් අරමුදල් නැවත ගැනීම හේතුවෙන් වර්ධනය පීඩනයකට පත්ව ඇතැයි මහ බැංකු අධිපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් පෙන්වා දුන්නේය.