පැය එකහමාරෙන් මහනුවරට


කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හෙට (14) දිනයේ සිට ආරම්භ කරන බව රජය කියයි.

අධිවේගී මාර්ගයේ පොතුහැර මංසන්දියේ සිට ගලගෙදර දක්වා වන කොටස මුලින්ම සම්පූර්ණ කිරීමට නියමිත අතර ඒ සදහා වැයවේයැයි අපේක්ෂිත මුදල රුපියල් බිලියන 1.1 කි.

මෙම මුදලින් කොටසක් චීනයත්,අන්තර්ජාතික මූල්‍ය සහයෝගීතාවත් දරන අතර ඉතිරිය දරනු ඇත්තේ දේශීය හා විදේශීය බැංකු එකතුවකිනි.

මේ අධිවේගී මාර්ගය කොළඹ - යාපනය,උතුරු අධිවේගී මාර්ගයටම සම්බන්ධවූ වෙනම කොටසක් ලෙස ඉදිකෙරෙන අතර පොතුහැර මංසන්දියෙන් උතුරට හෝ නුවරට හෝ ගමන් කළ හැකිවන සේ මාර්ගය බෙදෙනු ඇත.මේ අනුව කොළඹ සිට යාපනය දක්වා හෝ කොළඹ සිට නුවර දක්වා හෝ ගමන් කරන රථවාහන පොතුහැර මංසන්ධිය දක්වා පැමිණෙන්නේ එකම මාර්ගයකය.

මහනුවර දක්වා දිවෙන අධිවේගී මාර්ගය පොතුහැර සිට රඹුක්කන,ගලගෙදර හා අලදෙනිය හරහා නුවර දක්වා විහිදෙන අතර යාපනය දක්වා දිවෙන අධිවේගී මාර්ගය පොතුහැර සිට කුරුණෑගල,ගලේවෙල හා දඹුල්ල හරහා යාපනය දක්වා දිවේ.

උතුරු අධිවේගී මාර්ගයට වැයවනු ඇතැයි ගණන් බලා ඇති මුදල රුපියල් බිලියන 500 කි.රජය සදහන් කරන්නේ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු වලින් සියයට 60 ක්ම පමණ සිදුවනු ඇත්තේ දේශීය සමාගම් වල දායකත්වයෙන් බවයි.

අධිවේගී මාර්ගය ඉදිකෙරුණු පසු පැය එකහමාරක් වැනි කාලයකින් නුවරට ළගා විය හැකියැයි පැවසේ.