(කාංචන කුමාර ආරියදාස)
දේශීය පොල් කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා කඩිනමින් ආණ්ඩුව පියවර ගත යුතු බවත් වහාම පොල් ඉඩම් කැබලි කිරීම රට තුළ තහනම් කරන ලෙසත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හා ඒකාබද්ධ පොල් කර්මාන්ත සුරැකීමේ සංවිධාන එකමුතුව රජයෙන් ඉල්ලීමක් කරයි.
පොල් ඉඩම් කැබලි කිරීමේ ජනාධිපති තහනම් නියෝගය වහා බලාත්මක කරන ලෙස ඉල්ලා පොල් කර්මාන්ත සුරැකීමේ ජාතික එකමුතුව දඹුල්ල ප්‍රදේශයේදී අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළේය.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සහ පොල් කර්මාන්ත සුරැකීමේ සංවිධාන ගණනාවක නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ වයඹ පළාතේ පොල් ඉඩම් කැබලි කිරීම තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට තම සංවිධානයේ ස්තුතිය ජනාධිපතිවරයා වෙත පුදකර සිටින බවයි.
එමෙන්ම ඉදිරියේදී රටේ විශාල පොල් හිඟයක් ඇති වෙන බවත් පොල් ආශ්‍රිත අනෙකුත් කර්මාන්ත සියල්ල කඩා වැටී ඇති බවත් නාමල් කරුණාරත්න මහතා පෙන්වා දුන්නේය. පොල් ඉඩම් කැබලි කිරීම වනසතුන් ගෙන් හානි ඇතිවීම මෙන්ම විවිධ රෝගාබාධ ඇතිවීම නිසා මෙරට පොල් නිෂ්පාදනය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ද හෙතෙම පෙන්වා දුන්නේය . මේ හේතුව නිසා පොල් ගස ආරක්ෂා කිරීමේ ජාතික වැඩ පිළිවෙලක් අවශ්‍ය බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ලෝකයේ වැඩිම පොල් පරිභෝජනය කරන රට ලංකාව බවත් වසරකට ඒකපුද්ගල පොල් පරිභෝජනය ගෙඩි 109 ක් බවද කිවේය .ඒ අනුව වසරකට ගෙඩි මිලියන 2000ක් බව කිවේය .පොල් ඉඩම් හෙක්ටයාර් 21616 මේ වනවිට රටට අහිමි වී තිබෙන බවද කිවේය .