බ්‍රිතාන්‍ය වීසා කොන්දේසියට ලංකා විරෝධය


බ්‍රිතාන්‍යයයේ නව විදෙස් ගමන් බලපත්‍ර කොන්දේසි වලට ශ්‍රී ලංකා රජයේ විරෝධය පලවී ඇත.

නව කොන්දේසි වලට අනුව බ්‍රිතාන්‍යයට අලූතින් පැමිණෙන සංචාරකයන්ට විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු වලට අමතරව යළි සිය රට යාමේදී ආපසු ගෙවන පවුම් 3000 ක අමතර ගාස්තුවක්ද ගෙවීමට සිදුව ඇත.මේ ගාස්තුව අයකෙරෙන්නේ බ්‍රිතාන්‍යය විසින් මෑතකදී හදුන්වාදුන් පරිදි ‘අවදානම්‘ රටවල් වලින පැමිණෙන සංචාරකයින්ගෙන් වන අතර එම රටවල් ගොන්න අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්ය.ඉන්දියාව,පකිස්ථානය,බංගලාදේශය නයිජීරියාව හා ඝානා අනෙක් අවදානම් රටවල් වේ.

ශී්‍රලංකා විදේශ කටයුතු අමාත්‍යංශය මේ පිළිඹදව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය මහකොමසාරිස්වරයා දැනුම්වත් කළ බව අමාත්‍යංශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා පවසයි.මෙම ගාස්තු ක්‍රමය හදුන්වාදී ඇත්තේ තාවකාලිකව බවත් ගාස්තු අයකෙරෙන්නේ ‘අවදානම්‘ ලෙසට හදුනාගත් පුද්ගලයන්ගෙන් පමණක් බවත් සාමාන්‍ය සංචාරකයාට මෙයින් බලපෑමක් ඇති නොවන බවත් බ්‍රිතාන්‍යය මහකොමසාරිස් ජෝන් රැන්කින් මහතා ප්‍රකාශ කළ බව අමුණුගම මහතා කියයි.

බ්‍රිතාන්‍යයට ඇතුල් වන සංක්‍රමණිකයන්ගේ ප්‍රමාණය පාලනය කිරීමටත් විදෙස් ගමන් බලපත්‍ර කල් ඉකුත්වීමෙන් පසුවත් බ්‍රිතාන්‍යයේ රැදී සිටිනා සංක්‍රමණිකයින් යළි ඔවුන්ගේ රටවල් කරා යැවීමටත් හැකි වනසේ මේ නව ගාස්තු ක්‍රමය හදුන්වාදීමට බි්‍රතාන්‍යය රජය කටයුතු කර ඇත.