මාලේ උදව්වට ලංකාව යයි


මාලදිවයිනේ මාලේ අගනුවර පිහිටි මුහුදු ජලය පිරිසිදු කර පානීය ජලය නිපදවීමේ මධ්‍යස්ථානය අක්‍රියව පැවතීම නිසාවෙන් එරටට අවශ්‍ය සහන සැළසීමට ශ්‍රී ලංකාව ඉදිරිපත්ව සිටින බව විදේශ අමාත්‍යංශය කියයි.

ආපදාව නිසා මාලේ අගනුවර වැසියන් 130000 පමණ පානීය ජලය සපයාගත නොහැකිව පීඩා විඳී.

තත්ත්වය යම්තාක් දුරට හෝ සමනය කිරීමට ශ්‍රී ලංකාවෙන් පානීය ජල බෝතල බහාලූම් කිහිපයක් පසුගියදා මාලදිවයින වෙත ප්‍රවාහනය කෙරුණි.

විශේෂ මානවවාදී මෙහෙයුමක් අරබමින් මධ්‍යස්ථානයේ අලූත්වැඩියා කටයුතු වලට අවැසිව තිබූ පැනල කිහිපක් සිංගප්පූරුවේ සිට ගුවන් මගින් මාලදිවයින වෙත ප්‍රවාහනය කිරීමට ශ්‍රි ලංකා ගුවන්හමුදාව පසුගියදා කටයුතු කළේය.මේ පුවරු සාමාන්‍ය ගුවන්යානා වල ප්‍රවාහනය කිරීමට නොහැකි බව සඳහන් අතර මාලදිවයින රජය කළ විශේෂ ඉල්ලීමකට අනුව ජනපතිවරයා ප්‍රවාහන ගුවන්යානා යොදාගෙන අදාළ මෙහෙයුම කරන්නැයි ගුවන්හමුදාවට උපදෙස් දුන් බව විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

මධ්‍යස්ථානයේ අලූත්වැඩියා කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.බැරෑරුම් කොටස අවසාන යැයි මාලදිවයිනේ රජය නිවේදනය කර ඇත.

ඉන්දියාව, චීනය, බංගලිදේශය වැනි රටවල්ද මාලදිවයිනට සහය ලබාදීම සදහා ඉදිරිපත්ව සිටී.මධ්‍යස්ථානයේ අලූත්වැඩියා කටයුතු වලට වැයවනු ඇතැයි ගණන් බලා ඇති ඩොලර් ලක්ෂ 200 ක මුදලින් ඩොලර් ලක්ෂ 55 ක මුදලක් චීනය විශේෂ ආධාර ලෙස ලබාදී තිබේ.

මධ්‍යස්ථානය නැවත ක්‍රියාකාරී මට්ටමට ගෙන ඒමට තවත් සති දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි පැවසේ.