මුදවපු කිරිවලට තියෙන ඉල්ලුම නිසා සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි - අගමැති


මුදවපු කිරිවලට ඇති ඉල්ලූම නිසා සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පශු සම්පත් මණ්ඩලය මගින් පුද්ගලික අංශය දියුණු කිරීමටත් කුඩා කිරි ගොවීන්ට උදව් කිරීමටත් බලාපොරොත්තු වෙන බවත් ඒ මහතා කියයි.

“අප රටේ අද වනවිට පුද්ගලික කිරි පට්ටි 20,000 ක් පමණ සහ මී හරක් පට්ටි 5,000ක් පමණ තිබෙනවා. ඊට අමතර විශාල පට්ටිත් ඇතිකරගෙන යනවා.ඇත්ත වශයෙන්ම අද අපි සූදානම් වන්නේ මේ ක්ෂේත්‍රයේ තරඟකාරී නවීකරණයක් ඇති කිරීමටයි. ඉස්සර මේ ක්ෂේත්‍රයේ නිරත වූණේ පුද්ගලික අංශයයි.“

“ජනපතිවරයා කිරි ගොවීන් නිෂ්පාදනය කරන දිස්ත්‍රික්ක නියෝජනය කරනවා.අගමැති වරයා වශයෙන් මම නියෝජනය කරන්නේ කිරි පාරිභෝගිකයන් සිටින ප්‍රදේශයයි.මේක ජාතික ආණ්ඩුවක්. නිෂ්පාදකයින් හා පාරිභෝගිකයන් යන දෙපිරිසම එහි ඉන්නවා. “

“අප අලූතින් ආරම්භ කළ අනෙක් කර්මාන්ත වන්නේ කුකුල් කර්මාන්තයයි. අද කුකුල් කර්මාන්තය දියුණුයි. එය පුද්ගලික අංශය විසින් කරගෙන යනවා. ප්‍රීමා වැනි සමාගම් පැමිණීම නිසා කුකුලන්ට අවශ්‍ය ආහාර සැපයීමට අපට ශක්තිය ලැබී තිබෙනවා. පශු සම්පත් තුළින් අප බලාපොරොත්තු වන්නේ රටේ ජනතාවට අවශ්‍ය කිරි ,බිත්තර හා මස් ලබාදීමටයි. “

“දැනට විශාල සමාගම් තිබෙනවා වගේම කුඩා ගොවීන් නවීකරණය කර අලෙවිය සදහා අවස්ථාව සපයාදීම පිළිබදව ඇමතිතුමා සමග සාකච්ඡා කරනවා. “
 

ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවේදී අද (21) පැවති ජාත්‍යන්තර සත්ව ආහාර, පශු සම්පත් සහ සත්ව සෞඛ්‍ය ප්‍රදර්ශනය විවෘත කරමින් ඒ මහතා මේ බව කීය.