කාංචන කුමාර ආරියදාස
යාපනය අර්ධද්වීපයේ වගා කෙරෙන අර්තාපල් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආවත් කිලෝව රුපියල් 50 කට හෝ අලෙවි නොවීම නිසා අසීරුතාවයට පත්ව සිටින බව යාපනයේ ගොවීහු පවසති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විදේශීය අර්තාපල කිලෝවක් රුපියල් 36 සිට 40 දක්වා වු මිල ගණන් යටතේ කිලෝවක් රුපියල් 50 කට වත් අලෙවි කර ගැනීමට නොහැකි බව ගොවිහු පෙන්වා දෙති.
මේ දිනවල යාපනය අර්ධද්වීපයේ විශාල වශයෙන් අර්තාපල් අස්වැන්න ලැබෙමින් පවතින බවත් එම අස්වනු 80% පමණ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන විත් අලෙවි කෙරෙන බවත් ඔවුහු පෙන්වා දෙති.
යාපනයේ සිට දඹුල්ලට පැමිණි අර්තාපල් ගොවීන් කියා සිටින්නේ අර්තාපල් කිලෝවක් නිෂ්පාදනය කිරිම සඳහා රුපියල් 100කට ආසන්න මුදලක් වියදම් වන බවත් විශාල මුදලක් ප්‍රවාහනය සඳහා ද වියදම් වන බවය. එහෙත් කිලෝවක් රුපියල් 50ට හෝ අලෙවි නොවීම නිසා දින කිහිපයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගොවීන්ට රැදී සිටිමට සිදුවන බවද ඔවුහු පවසති.
තමන්ගේ රුපියල් 50 කටත් අඩුවෙන් ලබා ගන්නා අර්තාපල් තමන් ඉදිරියේ ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පිටින් සිල්ලර එළවළු වෙළඳසල්වල කිලෝව රුපියල් 100කට අලෙවි වන බවද වැඩිදුරටත් සඳහන් කර සිටිති.