රුපියල අවප්‍රමාණය ඉහළට



හර්ෂණ තුෂාර සිල්වා
 
රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 158.69 ක් දක්වා අද (24) ඉහළ ගියේය.
 
පළාත් පාලන මැතිවරණයෙන් පසුව රුපියලේ අගය වැඩිම අගයකට අවප්‍රමාණය වූයේ අද යැයිද පැවසේ. 
 
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරනු ලැබූ විනිමය අනුපාතික අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ ගැනුම් මිල 154.91ක් ලෙස සටහන් වී තිබිණි.
  
පසුගිය පෙබරවාරි මස 10 වැනි දා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වූ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අප්‍රේල්  4 වැනිදා නිකුත් කළ මුදල් ප්‍රතිපත්ති විවරණයට අනුව මේ වසර ආරම්භයේ සිට එදින දක්වා රුපියල සියයට 1.7කින් අවප්‍රමාණය වී තිබේ. 
 
පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා සඳහන් කළේය.
  
මේ වසරේ මුල් මාස තුනේදී ශ්‍රී ලංකා මහ බැංකුව සංචිත ගොඩනැගීමට සහ ණය ගෙවීම සඳහා ඩොලර් මිලියන 400 (රුපියල් මිලියන 62,000ක්) ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් මිලදී ගෙන ඇතැයි පසුගිය සතියේදී වාර්තා පළවිණි. 
 
මේ වසරේදී පමණක් ශ්‍රී ලංකාව නැවත ගෙවිය යුතු යුතු මුදල රුපියල් ට්‍රිලියන 1.97කි.