රුපියලේ අගය තවදුරටත් පහළ බසී


හර්ෂණ තුෂාර සිල්වා
 
රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව අද (14) දිනය අවසන් වනවිට රුපියලේ විකුණුම් අගය 156.74 ලෙස දැක්විණි. පළාත් පාලන මැතිවරණය නිසා ඇති වී තිබෙන අර්බුදකාරී දේශපාලන තත්ත්වය හේතුවෙන් රුපියල වාර්තාගත ලෙස අවප්‍රමාණය වෙමින් තිබේ.
 
ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (14) නිවේදනය කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ ගැනුම් මිල 152.97ක් දැක්විණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතවලට අනුව එක්සත් රාජධානයේ ස්ටාර්ලිං පවුමකට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල 218.84ක් ලෙසත් යුරෝවකට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල 194.97ක් ලෙසත් දැක්විණි. 
 
ආනයනකරුවන්ගෙන් ලැබුණු ඉහළ ඉල්ලුම නිසා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 155.90ක වාර්තාගත පහළ අගයක් ගත් බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. වත්මන් දේශපාලන අවිනිශ්චිතතාව නිසා අපනයන ඩොලර් විකුණුම් අඩු වී ඇතැයි ද ගනුදෙනුකරුවන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි. 
 
දේශපාලන තත්ත්වය ස්ථාවර බවක් පෙන්නුම් කරන තුරු මේ තත්ත්වය දිගින් දිගටම පවතිනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වාදෙති.