රුපියලේ අගය වාර්තා ගත ලෙස පහතට


විදේශීය ආයෝජකයන් රජයේ සුරැකුම්පත් විකුණා දැමීමත් සමඟ අද (13) දින අවසානයේදී රුපියලේ අගය වාර්තා ගත ලෙස පහත ගියේය. 


පළාත් පාලන මැතිවරණයෙන් වත්මන් ආණ්ඩුව පරාජයට පත්වීමත් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී තිබේ.
ඩොලරයට සාපේක්ෂාව රුපියලේ අගය වාර්තා ගත 155.00 දක්වා පහත වැටිණි. 

දිනය අවසානයේදී රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව 154.95/155.05ක් ලෙස සටහන් විය. සිකුරාදා දිනය අවසන් වනවිට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 154.27/35ත් අතර විය. පසුගිය අඟහරුවාදා දිනයේදී රුපියල 154.60/70 ත් වාර්තාගත පහත වැටීමක් පෙන්නුම් කළ අතර අද (13) එයද ඉක්මවා රුපියලේ අගය පහත වැටිණි.  
 

දේශපාලන අවිනිශ්චිතතාව හේතුවෙන් රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමේ අවදානමකට පත්ව ඇතැයි ද රොයිටර් පුවත්  සේවය සඳහන් කරයි. පසුගිය සතියේදී ඊට පෙර සතිය හා සැසඳීමේදී රුපියලේ අගය ස්ථාවර මට්ටමක පැවැතිය ද මේ වසරේ මේ දක්වා කාලයේදී සියයට 0.95කින් රුපියල පහත වැටී ඇතැයි තොම්සන් රොයිටර්ස් දත්ත වාර්තා පෙන්වා දෙයි. 
 
රජයේ ණය නැවත ගෙවීම් නිසා මේ වසරේදී රුපියල ඉහළ ද්‍රවශීලතාවක් ගනු ඇතැයි ද සියයට 2ත් 3ත් අතර අගයකින් පහත වැටෙනු ඇතැයි ද අපේක්ෂා කෙරිණි. පසුගිය වසරේදී රුපියල සියයට 2.5ක අගයකින් පහත වැටුණු අතර 2016 වසරේදී සියයට 3.9කින් පහත වැටිණි. 
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු වත්මන් ආණ්ඩුව ගෙවීමට තිබෙන ණය ප්‍රමාණය ආසන්න වශයෙන් රුපියල් ට්‍රිලියන 1.97කි. මේ වසරේදී පමණක් ගෙවිය යුතු එම ණය ප්‍රමාණය වාර්තාගත අගයක් වන අතර ඊට ඩොලර් බිලියන 2.9ක විදේශ ණය සහ ඩොලර් බිලියන 5.36ක පොළිය ද ඇතුළත් වේ.
 

පෙබරවාරි 7 වැනි දිනෙන් අවසන් වූ සතියේදී විදෙස් ආයෝජකයෝ රුපියල් මිලියන 6.03ක ශුද්ධ වටිනාකමක් සහිත රජයේ සුරැකුම්පත් විකුණා දැමූහ.
 
රොයිටර් ඇසුරිනි
 
055