ලංකාව සංචාරක පාරාදීසයක් කරන්න සීඑන්එන් හරහා ප්‍රචාරණ ව්‍යාපාරයක්



 
( තිළිණි ද සිල්වා )
 
ශ්‍රී ලංකාව සංචාරක පාරාදීසයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට ලොව ප්‍රකට රූපවාහිනී නාලිකාවක් වන සී.එන්.එන් නාලිකාව (CNN) හරහා නව විද්‍යුත් ප්‍රචාරණ ව්‍යාපාරයක්  දියත් කිරීමට නියමිත බව  ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන කාර්යාංශය කියා සිටී.
 
යුරෝපය, මැද පෙරදිග, ඔස්ට්‍රේලියාව, චීනය හා ඉන්දියාව වැනි ප්‍රධාන ජාත්‍යන්තර වෙළඳපොල ඉලක්ක කරගෙන මෙම ප්‍රචාරන ව්‍යාපාරය දියත් කෙරෙන බවද එම කාර්යාංශය කියා සිටී.
 
සී.එන්.එන් (CNN) රූපවාහිනී නාලිකාව හරහා මාස තුනක කාලයකට මෙම ප්‍රචාරණ හා දැන්වීම් ව්‍යාපාරය සිදු කෙරෙන බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
 
නව විද්‍යුත් ප්‍රචාරණ ව්‍යාපාරයට අදාළ ඇගයීම් ක්‍රියාවලිය වෙනුවෙන්  අනුමැතිය ලබා ගැනීමට එය සංචාරක අමාත්‍යාංශය වෙතට ඉදිරිපත් කිරීමට නියමිත බවද සංචාරක සංවර්ධන කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
 
ඉකුත් වසරේ මැයි මස සිට පසුගිය අප්‍රේල් මස දක්වා සමාජ මාධ්‍ය සංචාරක ප්‍රවර්ධකයින් 30කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක ගමනාන්තය  පිලිබඳ තොරතුරු මිලියන 65කට අධික සමාජ ජාල භාවිතා කරන්නන් වෙත ළගා වී ඇතැයි සංචාරක සංවර්ධන කාර්යාංශය කියා සිටී.