ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමට නවසීලන්තයේ ප්‍රමුඛ පෙළේ ආයෝජකයන් පිරිසක් නොවැම්බර් අගදී ශ්‍රී ලංකාවට එවන බව නවසීලන්ත මහ කොමසාරිස් ග්‍රැහැම් මෝර්ටන් මහතා අද (30) ජනපති කාර්යාලයේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේ පැවසීය.
රටට සහ සමාජයට අවශ්‍ය පරිවර්තනයන් රැසක් සමගින් නව රජය රට තුළ ආරම්භ කර ඇති වැඩපිළිවෙලට පළමුව සිය සුබපැතුම් පළ කළ නවසිලන්ත මහකොමසාරිස්වරයා එම වැඩපිළිවෙල එරට අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේද දැඩි පැසසුමට ලක්ව තිඛෙන බව ප්‍රකාශ කළේය.
රටේ කෘෂිකර්මාන්තය ඉහළ නංවමින් ස්වයංපෝෂිත ආර්ථීකයක් ගොඩනැගීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරනු ලබන කැපවීමද මෙහිදී අගය කළ මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බවටද ප්‍රතිඥා දුන්නේය.
කෘෂිකර්මාන්තය සහ දියර කිරී නිෂ්පාදනය සදහා නවසිලන්තය යොදා ගන්නා ඉහළ තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස මෙහිදී ජනාධිපතිවරයා නවසිලන්ත මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක්ද කළ අතර ඒ කෙරෙහි මහකොමසාරිස්වරයාගේ ඉහළ ප්‍රතිචාරයක් හිමි විය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර කිහිපයක ආයෝජන අවස්ථා සඳහා ඉදිරි මහ මැතිවරණයෙන් පසු ගිවිසුම් කිහිපයකට එළැඹීමට නවසිලන්තය අපේක්ෂාවෙන් සිටින බවද මහකොමසාරිස්වරයා පැවසීය.
නවසිලන්තයේ වෙසෙන 23,000 ක් පමණ වන ශ්‍රී ලාංකිකයින්ගේ සුබසාධන කටයුතු සඳහා නවසීලන්ත රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ස්තූතිය පිරිනැමු අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සදහා නවසිලන්තය මෙතෙක් ලබාදුන් සහයද අගය කළේය.