(හර්ෂණ තුෂාර සිල්වා)
මේ වසරේදී මෙරට ආර්ථිකය 5% ක ආසන්න අගයකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (4) ප්‍රකාශ කළේය.
ඉකුත් 2016 වසරේ වාර්තා වූ 4.5 % හා සැසඳීමේදී පසුගිය වසරේදී ආර්ථිකය වර්ධනය වූයේ 3.1% කින් යැයි ද එය අඩු අගයක් යැයි ද මහ බැංකු අධිපතිවරයා කීය.
මේ වසරේ දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා අද (4) මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා එම කරුණු කීවේය.
අහිතකර කාලගුණ තත්ත්වය පසුගිය වසරේ ආර්ථික වර්ධන වේගය අඩු මට්ටමක පැවැතීමට හේතු වූ බව කී මහ බැංකු අධිපතිවරයා පසුගිය වසරේ අපනයන සහ සෘජු විදෙස් ආයෝජනවලට වාර්තාගත වසරක් වූ බව ද කීවේය.
ආර්ථික වර්ධනයට සහ සංවර්ධනයට දේශපාලන ස්ථාවරත්වය වැදගත් වුවද අප එකම වරද දිගින් දිගටම කරමින් සිටින බව ද මහ බැංකු අධිපතිවරයා මෙහිදි අවධාරණය කළේය.
“මගේ තාත්තා මට කියපු දෙයක් තිබුණා. බුද්ධිමත් මිනිසුන් අනෙක් මිනිසුන්ගේ වැරැදිවලින් ඉගෙන ගන්නා. සාමාන්‍ය බුද්ධියක් තිබෙන මිනිසුන් තමන්ගේ වැරැදිවලින් ඉගෙන ගන්නවා. මෝඩයන් එකම වරද නැවත නැවත කරනවා. පසුගිය සති කිහිපයක කාලයක සිට මේ රටේ දේශපාලනය අස්ථාවර තත්ත්වයක තිබෙන්නේ. අපි එකම වරද නැවත නැවත සිදුකරමින් ඉන්නවා. මෙය බරපතළ වරදක්. මෙය රටේ සංවර්ධනයට හිතකර නැහැ.
දේශපාලනය ගතිකත්වය තිබෙනවා. දේශපාලනය අඛණ්ඩව ගලා යා යුතුයි. එහෙත් රජයේ සංවර්ධන වැඩපිළිවෙළවල්, ආර්ථික කටයුතු, රජය සපයන මූලික සේවා, රජයේ අනෙකුත් ප්‍රතිපත්ති, සැලැසුම් යනාදිය අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතුයි. දේශපාලන තත්ත්වය කුමක් වුවත් රජයේ කටයුතු අඛණ්ඩව සහ පලදායී ලෙස සිදුවිය යුතුයි. එසේ නොවීම බරපතළ තත්ත්වයක්.
රජය ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ යුතුයි. මූලික සේවා ක්‍රියාත්මක විය යුතුයි. සැලැසුම් සංවර්ධන ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතුයි. එය ඉතාමත් වැදගත්” යැයි මහ බැංකු අධිපතිවරයා තවදුරටත් කීය.