ලංකා ගමනාගමන මණ්ඩලය 2012 - 2014 කාලය අතරතුරදී රුපියල් කෝටි 400 ක පාඩුවක් ලබා ඇතැයි ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පාර්ලිමෙන්තුවේදී පැවැසීය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීය.
අලූතින් බස් රියැදුරන්,කොන්දොස්තරවරුන් හා කාර්මිකයින් පිරිසක් ලංගමට බදවාගත් බවද අමාත්‍යවරයා සදහන් කළේය.ඉදිරියේදී විශ්‍රාම ගැනීමට නියමිත සේවක පිරිසගේ නික්මයාමෙන් පසු ඇතිවන හිඩැස පිරැවීමට දැන් දැන්ම නව සේවකයින් බදවාගෙන තිබීම අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය.
දැනට ලංගමයේ 33293 ක සේවක පිරිසක් සිටින බව පැවසූ ඔහු තවත් සෙවකයින් බදවා ගැනීමක් සිදුකිරීමට අවශ්‍ය නැතැයි කීය.
සේවකයෙකු සදහා මසකට රුපියල් 86000 ක් පමණ වැය වන බවත් නමුත් ලංගමය ලබන ආදායම සැළකූ විට සේවකයෙකුට වෙන් කළ හැක්කේ 81000 ක් පමණ මුදලක් බවත් ඉතිරිය පියවන්නට යෑමේදී ලංගමට පාඩු මිස වාසියක් අත්නොවන බවත් ඔහු පැවසුවේය.
කලක් ලංගමයට අයත්ව තිබූ වෙරහැර,ඒකල,කහගොල්ල,කැප්පෙටිපොල වැඩපොළවල් විකුණා දැමීමට එවක සිටි එක්සත් ජාතික පක්ෂ රජය කටයුතු කර තිබීම නිසා දැන් ලංගමයේ බස්රථ අලූත්වැඩියා කිරීම වෙනම වියදමක් දරා වෙනත් ස්ථාන වලින් සිදුකරගත යුතුවී ඇතැයිද ඔහු චෝදනා කළේය.
ගුවන්යානා වලට ලබාදෙන ඉන්ධන සහනාධාරය ලංගමය වෙත ලබාගැනීමට අමාත්‍යවරයා කටයුතු කළ යුතුව ඇතැයි රවී කරුණානායක මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.අමතරව පැය 24 පුරාම ක්‍රියාත්මක වන බස් සේවාවන්ද හඳුන්වාදිය යුතුව ඇතැයිද මන්ත්‍රීවරයා කීය.