විද්‍යුත් ගනුදෙනුවලදී ලංකාව ඉදිරියෙන්


(හර්ෂණ තුෂාර සිල්වා)

විද්‍යුත් ගනුදෙනුවලදී ශ්‍රී ලංකාව ශීඝ්‍ර වර්ධනයක් අත්පත් කරගනිමින් සිටින බව වීසා කාඩ් සමාගමේ ශ්‍රී ලංකාවේ කළමනාකරු ඇන්තනි වොට්සන් මහතා අද (22) කොළඹදී පැවැසීය.  
 
මේ වසර අවසානය වනවිට විද්‍යුත් කාඩ්පත්වලින් කරන ලද ගනුදෙනුවල වටිනාකම රුපියල් බිලියන 300 ඉක්මවා යනු ඇතැයි ද හෙතෙම කීවේය. වීසා කාඩ්පත් භාවිතය මෙරට තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා පැවැති වැඩසටහනක් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකදී ශ්‍රී ලංකාවේ කළමනාකරු ඇන්තනි වොට්සන් මහතා එම කරුණු කීය.
 
 
“අද වනවිට රටපුරා භාවිත වන හර හා ණයපත් සංඛ්‍යාව මිලියන 19.5ක්. ඒ වගේම ගෙවීම් කිරීමේදී භාවිත කරන යන්ත්‍ර 44 832ක් රට පුරා තිබෙනවා. එම යන්ත්‍ර සහ ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රවලින් කරන ලද ගනුදෙනු ඉවත් කළ විට හර හා ණයපත් භාවිතයෙන් පසුගිය වසරේදී කළ ගනුදෙනුවල වටිනාකම රුපියල් බිලියන 290ක්.මෙම දත්ත මහ බැංකු වාර්ෂික වාර්තාවෙන් ලබාගත හැකියි. 
 
 
මේ අනුව ශ්‍රී ලංකාවේ මුදල් භාවිතයෙන් තොර ගනුදෙනුවල ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා. මේ වසරේදී කාඩ්පත්වලින් කරන ලද ගෙවීම් රුපියල් බිලියන 300 ඉක්මවා යනු ඇතැයි අපට විශ්වාසයි” යැයි ඇන්තනි වොට්සන් මහතා කීවේය. එය ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන ධාවකයක් යැයි ද හෙතෙම තවදුරටත් පෙන්වා දුන්නේය. 
 
 
මුදල්වලින් තොර ආර්ථිකයක් කරා ගමන් කිරීමේදීත් විද්‍යුත් වාණිජ්‍ය පුළුල් කිරීමේදීත් සංචාරක හා ඇඟළුම් යන ක්ෂේත්‍ර කාඩ්පත් භාවිතයෙන් කෙරෙන ගනුදෙනු අවස්ථා වැඩි කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ද වීසා කාඩ්පත් සමාගමේ ශ්‍රී ලංකාවේ කළමනාකරු ඇන්තනි වොට්සන් මහතා වැඩිදුරටත් කීවේය. 
 
වීසා කාඩ්පත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දියත් කළ වැඩසටහනට අමතරව වීසා සමාගම සමාජ සත්කාර වැඩසටහන් ද දියත් කිරීමට කටයුතු කර තිබිණි. එම වැඩසටහන යටතේ විදේශිකයන් 52 කුගේ සහභාගිත්වයෙන් ත්‍රී රෝද රථ 26කින් දිස්ත්‍රික්ක රැසක් ආවරණය කරමින් කිලෝමීටර 1168 ක දුරක් ආවරණය කළ බව ද එම සමාගම සඳහන් කරයි.  
 
ඡායාරූපය රොයිටර්