විදුලි පාඩුව දිනකට කෝටි 11


අලූත්වැඩියා කටයුතු සදහා ජලවිදුලි බලාගාර වසා දැමීමට ශී‍්‍ර ලංකා විදුලිබල මණ්ඩලය ගෙන ඇති තීරණයෙන් දිනකට රුපියල් ලක්ෂ 1100 පමණ අලාභයක් රටට සිදුවනු ඇති බව වාර්තා වේ.

වාර්තාවල දැක්වෙන ආකාරයට අලූත්වැඩියා කටයුතු නිසි පරිදි සිදුනොවීම නිසාවෙන් මෙගාවොට් 195 ක පමණ විදුලි බල ධාරිතාවක් ජාතික විදුලිබල පද්දතියට අහිමිව ඇත.අලූත්වැඩියා කටයුතු වලින් බලාපොරොත්තු වන්නේ ජලවිදුලි බලාගාර ඒවායේ උපරිම කි‍්‍රයාකාරී මට්ටමටම යළි ගෙන ඒමයි.

එහෙත් කලට වැසි ලැබ ජලවිදුලි බලාගාර ආශි‍්‍රත ජලාශ ජලයෙන් පිරී පවතින අවස්ථාවක විදුලිබල මණ්ඩලයේ මෙම තීරණය සියලූදෙනාගේ විමතියට හේතුවී තිබේ.

මේ පිළිබදව අදහස් පළකරන ජාතික විදුලිබල පරිභෝජකයන්ගේ ව්‍යාපාරයේ උපදේශක බන්දුල චන්ද්‍රසේකර මහතා පවසන්නේ මේ විදුලිබල මණ්ඩලය හිතාමතාම සිදුකරන්නක් බවයි.ශී‍්‍රලංකාවේ විදුලි බල අවශ්‍යතාවය සපිරෙන්නේ ජලවිදුලියෙන් හා තාප විදුලිබලාගාර වලින් මිලදී ගන්නා විදුලියෙනි.අලූත්වැඩියා කටයුතු සදහා යැයි පවසා ජලවිදුලි බලය අත්හිටවුවහොත් රටේ විදුලි බල අවශ්‍යතාවය සපුරා ගැනීමට සිදුවනු ඇත්තේ තාප විදුලි බලාගාර වලිනි.මේවා අයිති පෞද්ගලික අංශයටය.එනිසා විදුලිය මිලදී ගැනීමට අධික මුදලක් වැය කිරීමට සිදුවනු ඇත.මෙය දඩමීමා කරගනිමින්

විදුලිබල ගාස්තු ඉහළ දැමීම සාධාරණිකරණය කර ගැනීමට විදුලිබල මණ්ඩලය සැරසෙන්නේයැයි ඔහු චෝදනා කරයි.

ජල විදුලි බලාගාර වලින් විදුලි ඒකකයක් නිපදවීමට වැයවන්නේ සත 30 සිට රුපියල් 3.50 ක් වැනි මුදලක් වුවත් තාප විදුලි බලාගාරයකින් විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 20 සිට 40 දක්වා මුදලක් වැය වන බව සදහන්ය.එසේ හෙයින් අලූත්වැඩියා කටයුතු සදහා හෝ වේවා ජලවිදුලි බලාගාර අතහැර තාප විදුලි බලාගාර වෙත විදුලිබල මණ්ඩලය යොමු වුවහොත් විදුලිය මිලදී ගැනීමට අධික මුදලක් වැයකිරීමට සිදුවනු ඇති බව හොදින් පෙනේ.