හර්ෂණ තුෂාර සිල්වා
ඉහළ මැදි ආදායම් තත්ත්වයකට පත්වීම සඳහා ශ්‍රී ලංකාවට සහාය දීම වෙනුවෙන් වසර 2018 සිට 2022 දක්වා ශ්‍රී ලංකාව සමඟ ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක නව උපායමාර්ගික ගිවිසුමකට එළැඹෙන බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.
ශ්‍රී ලංකාවට ඉහළ මැදි ආදායම් රටක් බවට පත්වීම සඳහා පරිසර හිතකාමී සහ සියලු පාර්ශව එකතු කරගත් තිරසාර සංවර්ධනයක්, ශක්තිමත් ධාවක සහිත යටිතල පහසුකම් සංවර්ධනය ඉලක්ක කරගත් වර්ධනයක් සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණවලට සහාය දීම ආසියානු බැංකුවේ නව උපායමාර්ගික ගිවිසුමේ අරමුණ වී තිබේ.
නව ගිවිසුම යටතේ ආසියානු සංවර්ධන බැංකුව අදාළ සංවර්ධන කටයුතු වෙනුවෙන් වසරකට ඩොලර් මිලියන 800ත් බිලියනයත් අතර මුදල් වැය කරන අතර වසරකට ඩොලර් මිලියන 800ක වටිනා තාක්ෂණික සහයක් දැක්වීමට ද නියමිතය. ඊට අමතරව ආසියානු සංවර්ධන බැංකුව මෙරට පෞද්ගලික අංශය හා එක්ව කරන මෙහෙයුම් පුළුල් කිරීමට අපේක්ෂා කරන අතර ඒ අනුව මූල්‍ය නොවන ක්ෂේත්‍රයේ කටයුතු පුළුල් කිරීමට ද බලාපොරොත්තුවෙන් සිටියි.