ලෝකයේ ගුවන් සංචාරක ව්‍යාපාරයේ මහා පරිමාණ වෙළෙඳ පොළක් වන ඕස්ට්‍රේලියාව ඉලක්ක කරගනිමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නවතම කාර්යාලය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී විවෘත විය.
ඕස්ට්‍රේලියාවට ගුවන් ගමන් ආරම්භ කිරීමේ ආරම්භක පියවර වශයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම පියවර ගෙන තිබේ.
විදේශ ඇමැති මහාචාර්ය ජී එල් පීරිස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා සංචාරක ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලාන් ආරියවංශ මහත්වරු ද ඊට එක් වූහ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා පැවසුවේ ඕස්ට්‍රේලියාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමේ වැදගත් මුල් පියවරක් ලෙස මෙය හඳුන්වා දිය හැකි බවයි.
ඒ මගින් ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවකට මෙන්ම යුරෝපය, මැද පෙරදිග සහ ඉන්දීය ගමනාන්ත භාවිත කරන සංචාරකයන් විශාල සංඛ්‍යාවකට පහසුව සැළසෙන බවත්, ඕස්ට්‍රේලියාවෙහි ගමනාන්ත බොහෝමයක් සමග සම්බන්ධවීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අවස්ථාව ලැබෙන බවත් ඔහු කීවේය.