සරසවි අනධ්‍යයන සේවක වර්ජනයෙන් ග්‍රාමීය ආර්ථිකයට බලපෑම්


(ප්‍රින්ස් රත්නායක)
රට පුරා ක්‍රියාත්මක වන  විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වැඩ වර්ජනය නිසා විශ්වවිද්‍යාලය පදනම්කරගෙන වක්‍ර රැකියාවන්හි නියුතු බොහෝ පිරිසකට සිය ආර්ථිකයට පහර වැදී ඇති බව  විශ්වවිද්‍යාල ආපනශාලා හිමියෝ පවසති.

ත්‍රිරෝද රථ සේවවාන්හි නිරත වන පිරිස්ද  පවසනුයේ විශ්වවිද්‍යාලය සාමාන්‍ය පරිදි නොපැවැත්වීමත් සිසුන් නේවාසිකාගාරයන්හි නොමැතිවීමත් නිසා නිතිපතා වැඩිවශයෙන් තමන් සේවාවන් ලබාගන්නා සිසුන්  සිය නිවෙස්වල සිටීමත් නිසා තම වෘත්තියට ප්‍රබල පහරක් එල්ලවී  ඇති බවයි. අවුරුදු කාලයේ තම අතමිට සරුකර ගතයුතු වුවත් දවසේ වියදමවත් සපයා ගැනීමට නොහැකි තත්වයක් උදාවී අති බවද පවසති. 

එමෙන්ම දුරකථන ඇමතුම් හල් හා ලිපිද්‍රව්‍ය හා පොත්සැල් පවත් වාගෙන යන සබරගමුව විශ්ව විද්‍යාලය අවට  පොත්සැල් හිමියෝ සිය සේවා ස්ථාන වසා දැමීමට සිදුව ඇති බව පවසති. බාබර් සාප්පු, රූපලාවන්‍යාගාර මෙන්ම පළතුරු වෙලඳසැල්ද තම  කටයුතු කරගෙන යානොහැකි තත්වයක් උදාවී ඇති බවත් අවරුදු සමයේ මෙම තත්වය හේතුවෙන් තමනට නරක කාලයක් උදාවී ඇති බවද පවසති.

පඹහින්න ප්‍රදේශයේ තොග හා සිල්ලර වෙළෙදසල් මෙන්ම හෝටල්  හිමියන්ටද විශ්වවිද්‍යාල ප්‍රජාවගේ සෘජු බලපෑම හේතුවෙන් තම වෙළඳකටයුතු පහළ මට්ටමක් පැවතෙන බවද කියති. ඔවුන් පවසන්නේ සිසුන් මෙන්ම සේවක ප්‍රජාවද මෙම අවුරුදු කාලයේ ඉහළ ගණුදෙනු කිරීමක් පවතින බවත් පසුගිය වසරවලට ඉහළ ලාබ ඉපයූවත් උද්ගතව  ඇති ගැටලු මුල් කො සේවකවැටුප් නොලැබීම හේතුවෙන් මේ දිනවල ඔවුන් මිලදී ගැනීමේ හැකියාව අවම මට්ටමකට පැමිණිමත්  විකුණුම් අවම වී ඇති බවයි.

 මේ හේතුවෙන් වඩා තදින් තම ව්‍යාපාරික කටයුතුවල තදබල පහරක්  වැදී ඇති බව පවසති. ඇතැම් අපනශාලා හා හෝටල් මේ හේතුවෙන් වසා දමා ඇති අයුරුද දැකිය හැකිය. සිසුන් ඉලක්ක කරමින් ඔවුනට ආහාර ලබාදෙන ගෘහණියන්ටද සිය ආදායම සොයන මග ඇහිරී ඇති ඔව්හු බව පවසති. පවතින තත්වය හමුවේ කඩ සාප්පු වසාදමා ඇති අතර වෙනදා පන්දසකට අධික පිරිසක් ගැවසෙන බෙලිහුල්ඔය හා පඹහින්න ප්‍රදේශයේ හිස්බවක් දැකගත හැකිය.

විශ්ව විද්‍යාල කටයුතු ඇනහිටීමෙන් හා  සිසුන්  නොමැතිවීමත්  සේවක වර්ජනය හේතුවෙන් ඔවුනට පඩි නොලැබීමත් නිසා එළවලු පළතුරු මාළු මිලදී ගැනීම විශාල ලෙස අඩුවී ඇති බවත් තම දවසේ වෙළඳාම අඩුවී තමන් මිලටගත් භාණ්ඩවල මුදලවත් සොයා ගැනීමට අසීරූවී ඇති  බව පඹහින්න සතිපොලේ වෙළඳාමේ යෙදෙන පී.එල් දිනේශ් ඉන්දික හා කේ. වී.විමලාවතී යන අය පැවසූහ. 


උද්ගතව ඇති සරසවි අවුල ‍ මුල්කොට සරසවි සිසුන්ට සේවකයින්ට මෙන්ම විශ්වවිද්‍යාලය වටා සිය ආර්ථික කටයුතු සිදුකරන පාර්ශව රැසකට මෙම තත්වය සෘජුව බලාපා ඇති අතර එළඹෙන නව  අවුරුදු සමය මේ හේතුවෙන් සුබදායී නොවන වටපිටාවක් ගොඩනැගී ඇත.