ශ්‍රී ලංකාවේ සුන්දරතම තරුණිය රූ රැජිනක ලෙස කිරුළු පළඳන ‘‘සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ‐ 2016’’ රූ රැජින අවසන් තරගය දෙසැම්බර් මාසයේ දී කොළඹදී පැවැත්වීමට යයි.
තරගය පැවැත්වෙනුයේ හතරවැනි වතාවටය. සංගීතා වීරරත්න, ෂෙරීන් කුමාරතුංග සහ ධනංජය බණ්ඩාර ප‍්‍රමුඛ ‘‘ ද මොඩල් ෂොප් ’’ , වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය හා විජය පුවත්පත් සමාගම මෙහි සම සංවිධායකත්වය දරයි.
‘‘සියත මිස් වර්ල්ඞ් ශ්‍රී ලංකා ‐ 2016 ’’ රූ රැජින තරගය ඉකුත් 4 වැනි දා නිල වශයෙන් කොළඹ කිංස්බරි හෝටලයේදී ඇරඹිණි.
රූ රැජින තරගය සඳහා තෝරා ගෙන සිටින අවසන් තරඟකාරියන් 15 දෙනා සහභාගී වන මූලික තරග වට ඉදිරි දිනවලදී කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප‍්‍රදේශවල දී පැවැත්වෙන බවත් මින් ජයග‍්‍රහණය කරන සුරූපිණිය මේ වසරේ පැවැත්වෙන ලෝක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කිරිමට සුදුසුකම් ලබන බවත් සංවිධායකයෝ කියති.
‘‘වර්තමානයේ රූ රැජිනක් වීමට ලස්සන විතරක් මදියි. සුරූපී බව හා මුසුවූ පෞරුෂත්වය ඇතුළු වෙනත් විවිධ පරාසයන් යටතේ මෙවර සියත මිස වර්ල්ඩ් ශ්‍රී ලංකා රූ රැජින තරගාවලියේ අවසන් තරඟකාරියන් 15 දෙනා තෝරා ගැනීම සිදු කෙරුණා. ඔවුන් සියලූ දෙනාම දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරමින් පැමිණි විවිධ දක්ෂතාවයන් ඇති තරුණියන්. මෙම තරුණියන් අතරින් දක්ෂතම තරගකාරිය තෝරා ගැනීම සඳහා කාය කාන්තිය,ඡායා කාන්තිය,හොඳම නිරූපිකාව,හොඳම නර්තන ශිල්පිනිය ඇතුළු ඔවුන්ගේ විවිධ දක්ෂතා එප්නංවන මුලික තරග වට කිහිපයක්ම පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා යැයි සංගීතා වීරරත්න මහ ද පැවසුවාය.