‘අපි ශක්තිමත් ආර්ථිකයක් කරා යමින් සිටින බව නැවත නැවත කිව යුතුයි‘ - අගමැති


(හර්ෂණ තුෂාර සිල්වා)

රටේ ජනතාවට පහසුකම් සහ සැලසීම වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛ කරුණක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (4) කොළඹදී පැවැසීය. 

රටේ ජනතාවගේ සෞඛ්‍ය හා සුබසාධනය වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛත්වයක් බව කී අග්‍රාමාත්‍යවරයා ඊට අමතරව ජනතාවට අධ්‍යාපන හා නිවාස ආදී මූලික පොදු සේවාවලට ප්‍රවේශවීමට තිබෙන අවස්ථා වැඩි කරන බව ද කීය. 

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති පළමු ජාතික සෞඛ්‍ය පර්යේෂණ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කරුණු කීවේය.

රටේ මූලික පොදු සේවා ඔස්සේ ජනතාවට පහසුකම් සැලසීමට නම් ශක්තිමත් ආර්ථිකයක් අවශ්‍ය බව කී අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා වත්මන් ආණ්ඩුව කවදාටත් නොදුටු ආර්ථික සංවර්ධනයක් ක්‍රියාත්මක කරන බව ද කීය. 

 

“අපි ශක්තිමත් ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටින බව නැවත නැවත කිව යුතුයි. රටේ ජනතාවට සෑම විටම ප්‍රතිලාභ ලබා දීම අපේ ප්‍රමුඛ කාර්යයක් බව අවධාරණය කළ යුතුයි. රටේ ජනතාවට පහසුකම් සැලසීම සහ ප්‍රතිලාභ සැලසීම අපි අඛණ්ඩව සිදු කරනවා. ශ්‍රී ලංකාව සියලු දෙනාට ඉතා හොඳ ජාතිකයක් බවට පත් කිරීම සඳහා අපි ශක්තිමත් ආර්ථිකය නිර්මාණය කිරීම සඳහා ඇප කැප වී කටයුතු කරනවා. රටේ සියලු ජනතාවට යහපත් ජාතිකයක් ශක්තිමත් රටක් බිහි වන්නේ ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමෙන් පමණයි” යැයි ද අගමැතිවරයා වැඩිදුරටත් කීවේය.