‘විදුලි වාහන බදු තවත් අඩුකළ යුතුයි‘


(නිමල කොඩිතුවක්කු)

විදුලි වාහන සම්බන්ධයෙන් රජය පනවා ඇති බදු මුදල් තවදුරටත් ලිහිල් කරමින් එම වාහන  ප‍්‍රවර්ධනය සඳහා කටයුතු කළ යුතු බව ශ‍්‍රී ලංකා විදුලි වාහන සමාජයේ කමිටු සාමාජික මහිසංක අබේවික‍්‍රම මහතා අද(30) කොළඹදී පැවසීය.

එමෙන්ම වසරකට අඩු කාලයක් භාවිතා කරන ලද විදුලි වාහන සඳහා දැනට ලබා දෙන බදු සහනය වසර දෙක දක්වා ඉහළ දැමීමට  කටයුතු කරන ලෙසද ඒ මහතා ඉල්ලීමක් කළේය.

ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී ශ‍්‍රි ලංකා විදුලි වාහන සමාජය කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.

කිලෝවොට් 50 සිට කිලෝවොට් 150 දක්වා වාහන සදහා දැනට පනවා ඇති බදු මුදල් ලිහිල් කර එම සහනය ජනතාවට ලබා දෙන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.

2040 වනවිට සියලූ වාහන ඉන්ධන භාවිතයෙන් ඉවත් කිරීමට රජය තීරණය කර තිබුණද මෙම තත්වය යටතේ එම ඉලක්ක ජයලත නොහැකි බවද අබේවික‍්‍රම මහතා පෙන්වා දුන්නේය.