‘සංචාරක කර්මාන්තයේ ප්‍රමුඛ වසර 2020යි‘


(හර්ෂණ තුෂාර සිල්වා)

වසර 2020 මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රමුඛතම වසර බවට පත් කිරීමට ආණ්ඩුව සැලැසුම් කර තිබේ.

ඒ වෙනුවෙන් ‘විසිට් ශ්‍රී ලංකා’ යනුවෙන් වැඩසටහනක් දියත් කරමින් ශ්‍රී ලංකාවට සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙයි.

සිනමන් හෝටල් සමූහය ඇතුළු පාර්ශවකරුවන් සංවිධානය කරන ලද ‘සංචාරක කර්මාන්තයේ’ අනාගතය යන මැයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේදී අද (26) පැවැති සමුළුවේදී අමාත්‍ය ජෝන් අමරතුංග මහතා එම කරුණු අනාවරණය කළේය.

වසර 2020 දී ‘විසිට් ශ්‍රී ලංකා’ යනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් එම වසර ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රමුඛතම වසර බවට පත් කිරීම සඳහා කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීය.

අග්‍රාමාත්‍යවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ උපායමාර්ග 10ක් සහිත වැඩසටහනක් සහ කාර්ය සාධන බලකායක් ‘විසිට් ශ්‍රී ලංකා’ ඉලක්කය සපුරා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ද හෙතෙම කීය.

‘පොහොසත් රටක් 2025’ දැක්මට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව කී අමාත්‍යවරයා ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය එහි ප්‍රධානතම අරමුණ යැයි ද කීවේය.

ඉදිරි කාලයේදී සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකා ආර්ථිකයට දායක්තවය සපයන ප්‍රමුඛතම අංශය බවට පත් කිරීම සඳහා කටයුතු කරන බව අමාත්‍යවරයා කීය.

වසර 2020 දී සංචාරක කර්මාන්තයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 7ක ආදායමක් ඉපැයීම ආණ්ඩුවේ අරමුණ වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට අනුව පසුගිය වසරේදී මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව මිලියන 2 ඉක්මවා ගිය අතර සංචාරක කර්මාන්තයෙන් ලද ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 3,518ක් විය. එය 2015 වසර හා සැසඳීමේදී සියයට 18 වර්ධනයකි.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව මේ වසරේ මුල් මාස හයක කාලයේදී සංචාරක කර්මාන්තයෙන් ලද ආදායම සියයට 4.8කින් වර්ධනය වී තිබේ. එම දත්ත වාර්තාවලට අනුව මේ වසරේ මුල් මාස හයක කාලයේදී සංචාරක කර්මාන්තයෙන් ලද ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,733.6කි.