‘‘සිහගිරි‘‘ ජාතික ගුවන්සේවයට එක් වෙයි


ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ප්‍රතිඇනිගත කිරීමේ වැඩසටහන යටතේ එයාර්බස්  330-300 පුළුල් බඳ සහිත දෙවැනි ගුවන් යානය ඊයේ(19)  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

‘සිටි ඔෆ් සිහගිරි‘ ලෙස නම් කර ඇති මේ යානය ඈත පෙරදිග ගමනාන්ත වන කැන්ටන්, ෂැන්හයි, බීජිං සහ හොංකොං වෙත මෙහෙයුම් සඳහා යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.

පසුගිය ඔක්තෝබර් මාසයේ දී මෙම වර්ගයේ පළමු  ගුවන් යානය මෙරටට ගෙන්වීමෙන් පසු  ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රතිඇනිගත කිරීමේ වැඩසටහන ආරම්භ විය. 2015 වසරේදී මෙම වර්ගයේ තවත් ගුවන් යානා පහක් මෙරටට ගෙන්වීමට නියමිතය.

මීට අමතරව  A350-900 ගුවන් යානා 8ක් ක් ද ලබා ගැනීමට නියමිතය. මින්  ගුවන් යානා 3ක් 2016 ලබා ගැනීමට නියමිත අතර   2017 වන විට ඉතිරි යානා 4 ගෙන්වා ගැනීමට නියමිතය.  ‘වන්වර්ල්ඩ්‘ ගෝලීය ගුවන් සේවා සන්ධානයේ නවතම සාමාජිකයා වශයෙන් ශ්‍රී ලංකන් සිය ගුවන් සේවා ජාලය තවදුරටත් පුළුල් කිරීමට මෙයින් අපේක්ෂා කෙරේ.

ගුවන් මගීන් 297 සඳහා  ව්‍යාපාර පංතියේ ආසන 28 ක් සහ පිරිමැසුම් පංතියේ ආසන 269  ක් ද මෙම යානයේ ඇත. නවීන අභ්‍යන්තර පහසුකම් සහ සුවපහසු  ගුවන් මැදිරි වලින් සමන්විත මෙහි  ‘තැලස් ඇවන්ට්‘ යන ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධති හදුන්වා දී ඇත. එමෙන්ම  උසස් තාක්ෂණික පහසුකම් සහ වැඩිදියුණු කළ ඉන්ධන කාර්යක්ෂමතාවයන් ඇතුළත්ය.    

ව්‍යාපාර පංතියේ සැප පහසු හෙරින්බෝන් හැඩයේ අති සුඛෝපභෝගී නිදන ආසන, ස්වාභාවික අවස්ථා වන ඉර බැසීම, ඉර පෑයීම මෙන්ම රාත්‍රී අහස යනාදියේ ආලෝකනය  උද්දීපනය වන අයුරින් මේවා සකස් කර  ඇත.   සෑම ගුවන් මගියකුටම සෘජු ප්‍රවේශ මාර්ග, පුද්ගලයන් සඳහා  පී.සී විද්‍යුත් සොකට් භාවිතයට  හැකියාව,  වයි-ෆයි  සම්බන්ධතාව මගින් ව්‍යාපාර පංතියේ ගුවන් මගීන් සඳහා පුද්ගලිකත්වය සහ සුවපහසුව  එක් වූ  ගමනක ආශ්වාදය අත්විඳගැනීමේ අවස්ථා මෙමගින් උදා වෙනු ඇත.  පිරිමැසුම් පංතියේ  ගුවන් මගීන් සඳහා ද මේ හා සමාන සුවපහසුවක් අත්විඳමේ හැකියාව ඇත.

ගුවන් යානයේ අභ්‍යන්තර  වයි-ෆයි  සහ ජංගම දුරකථන භාවිතය සඳහා පහසුකම් සපයා දෙන ඉන්දියා උප මහද්වීපයේ ප්‍රථම ගුවන් සේවාව බවට ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙයින්ඉතිහාසයට එක්වනු ඇත. එමඟින් ගුවන් මගින්ට ඵලදායි ලෙස ගුවන්ගත වීමට සහ තම හිතවතුන් හා සම්බන්ධ වී ගුවනේ දී මෙම පහසුකම් අත්විදීමට අවස්ථා ලැබී ඇත.   

ඈත පෙරදිග  ගමන් මාර්ග සඳහා ගුවන් මගීන් ප්‍රමාණය වැඩි කිරීම, පැටවුම් ධාරිතාව වැඩිකිරීම, කලාපයේ ප්‍රමුඛ වෙළෙඳපොලවල් සහ ශ්‍රී ලංකාවට ප්‍රධාන ලෙස සංචාරක ප්‍රතිලාභ අත්පත් කරදෙන වෙළෙඳපොලවල්  වෙත වෙළෙඳපොල කොටස් වැඩිකිරීමට මෙයින්  බලාපොරොත්තු  වේ.     

 ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කර සිටියේ  මාස 2ක් වැනි කෙටි කාලයක දී තවත් නවතම ඒ330-300 ගුවන් යානාවක් ශ්‍රීලංකන් ගුවන් යානා ඇණියට එකතු වීම තුළින් ශ්‍රී ලංකන් සතුව ඇති අනෙකුත්  ගුවන් යානා නවීකරණය කිරීමට හැකියාව ලැබුණු බවයි.

මෙම නවතම ඒ330-300 ගුවන් යානා  තුළින් ගුවන් මෙහෙයුම් හි සාර්ථක කාලපරිච්ඡේදයක් ආරම්භ වනු ඇතැයි ගුවන් සමාගම තරයේ විශ්වාස කරන බවද ඔහු  සඳහන් කළේය.   

1