තිස්සගේ මතක වත-51
යුද ජයග්රහණයෙන් ටික දවසකට පස්සේ තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කල්පනා කළේ යුද ජයග්‍රහණයේ වාසියත් අරගෙන මැතිවරණයකට යන්න ඕනෑ කියලා. මේ ආරංචිය දැනගත්තම යූ.එන්.පීය ටිකක් අසරණ තත්ත්වයට පත්වුණා. මොකද යුද ජයග්‍රහණයේ වාසියත් එක්ක තරගයට එනකොට ඒකට මුහුණදෙන්න අමාරු තත්ත්වයක යූ.එන්.පී. එක හිටපු නිසා.
2010 ජනාධිපතිවරණය පිළිබඳව යූ.එන්.පි යට මුලින්ම තිබුණේ මොකක් කරන්නද කියන අවිනිශ්චිත තත්ත්වයක. මට මතකයි දවසක් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි හාමුදුරුවෝ දානේ ගෙදරකදි මට මුණගැහිලා කිව්වේ යුද ජයග්‍රහණයේ වාසියත් එක්ක ඡුන්දෙකට ගියොත් මහින්ද රාජපක්ෂට ඒක විශාල වාසියක් වෙනවා වගේම තව අවුරුදු විසිපහකටවත් ඒ බලය හොලවන්න බැරිවෙයි කියලා. රටේම තිබුණේ මේ වගේ අදහසක්.
ඔය අතරේ රනිල් වික්‍රමසිංහ මුණගැහුණු අවස්ථාවක මම ඇහුවා මැතිවරණයක් ප්‍රකාශයට පත් කළොත් මොකද අපි කරන්නේ කියලා. ඔහුටත් ඒ ගැන පැහැදිලි අදහසක් තිබුණේ නෑ. ඒ වෙනකොට ඔහුත් මගෙන් ඇහුවෙ මොකද කරන්නේ කියලා. මගේ අදහස වුණේ මොන අමාරු තත්ත්වයක් යටතේ වුණත් අපේ පක්ෂයෙන් තරඟකරුවෙක් ඉදිරිපත් වෙන්න ඕනෑ කියලා. මේ අතරෙම තමයි පොදු අපේක්ෂකයකුගෙ කතා බහක් එහෙන් මෙහෙන් එන්න පටන් ගත්තේ. මේ අදහස ජනතා විමුක්ති පෙරමුණත් කීප තැනකම කියලා තිබුණා. කාටත් ප්‍රශ්නයක් තිබුණේ යුද්ධය දිනපු එකේ ක්‍රෙඩිට් එක මේ මැතිවරණ වේදිකාවේ ප්‍රධාන මාතෘකාව වෙන නිසා ඒකට තරගයක් දීලා මහින්ද රාජපක්ෂ එක්ක හැප්පෙන්න කවුද ඉදිරිපත් කරන්නේ කියන එක.
ඔය දවස්වල එක අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මුණගැහෙන්න ආවා සරත් ෆොන්සේකාගේ සමීපම පුද්ගලයෙක් වුණු සේනක සිල්වා. එයා ඇවිත් කතා බහකරමින් ඉන්න අතරේ යෝජනා කරලා තියෙනවා ජනරාල් ෆොන්සේකා මැතිවරණයට ගෙනල්ලා අපේක්ෂකයෙක් විදියට තරඟ කරන්න පසුබිම හදන්න ඔහුට පුළුවන් කියලා. මොකද ඒ වෙන කොටත් සරත් ෆොන්සේකා මහින්ද රාජපක්ෂ විරෝධයක හිටියේ. ඒකට හේතුව මහින්ද රාජපක්ෂ සරත් ෆොන්සේකාට හුද හමුදාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන තැනට වැඩ කරපු නිසා. ඒ වෙනකොට කතාවක් පැතිරිලා ගියා හමුදා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා මහින්ද රාජපක්ෂට විරුද්ධව කියලා. ජාතිත ඔත්තු සේවාත් මේක වාර්තා කරල තිබුණා කියලා තමයි කියවුණේ. ඒකෙන් කියවුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බී.එම්.අයි.සී.එච්. එකට ආපු වෙලාවක හමුදාව ඔහුව අත්අඩංගුවට අරගෙන රට අල්ලනව කියලා. ඒක එහෙම වෙන්නත් බැරිකමක් තිබුණේ නෑ. මොකද යුද ජයග්‍රහණත් එක්ක හමුදාව විශාල බලවත් තැනක ඒ වෙනකොට හිටියේ. හමුදාව අතර සහ මහජනතාව අතර සරත් ෆොන්සේකා ඒ වෙනකොට බලවත් සහ ජනප්‍රිය චරිතයක් වෙලා හිටියේ.
මේ තොරතුරු ලැබීමත් එක්ක මහින්ද රාජපක්ෂ කලබලයට පත්වෙලා කළේ සරත් ෆොන්සේකාව යුද හමුදාපති ධුරයෙන් ඉවත් කරලා උසස් වීම් දීම. ඒ උසස්වීම් දීම ඇතුළෙ තිබුණේ ඔවුන්ට තිබුණු බලය අඩු කිරීම. එහෙම කරලා හමුදාපති ධුරයට තමන්ගේ විශ්වාසවන්ත අයෙක්ව දැම්මා. සරත් ෆොන්සේකා කොහොමවත් බලාපොරොත්තු වුණේ නෑ ඔහුව හමුදාවෙන් ඈත් කරලා බලය අහිමි කරයි කියලා. ඔහුට අලූතෙන් දෙන්න සූදානම් වුණු තනතුර ගැන ෆොන්සේකාගේ කැමැත්තත් තිබුණේ නෑ. ඊට පස්සේ ෆොන්සේකාව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් විදියටත් පත් කරන්න සූදානම් වුණා. ඔහු ඒකටත් කැමැත්තක් දැක්වූයේ නෑ. කොහොම නමුත් යුද හමුදාපති ධුරයෙන් අයින් කරලා ෆොන්සේකාව ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි තනතුරට දැම්මා. ඒකේ ඉන්නකොට තමයි සේනක සිල්වා ඇවිත් රනිල් වික්‍රමසිංහට යෝජනා කරන්නේ ෆොන්සේකාව මැතිවරණයට ඉදිරිපත් කරන්න සම්බන්ධීකරණ කටයුත්ත කරන්න ඔහුට පුළුවන් කියලා.
තවත් කොටසක් ලබන සතියට.
ප්‍රියන්ත කොඩිප්පිලි