(සජීව විජේවීර)
මිනිසුන් කණ්ඩායමක් තවත් මිනිසුන් කණ්ඩායමක් විසින් සංවිධානාත්මකව සහ සැලසුම් සහගතව ඝාතනය කිරීම කොතරම් ම්ලේච්ඡ ක්‍රියාවක් ද යන්න කීමට අටුවා ටීකා අවශ්‍ය නැත.
ලෝක ඉතිහාසයේ නාසි හමුදාව විසින් යුදෙව්වන් ලක්ෂ ගණනක් සමූල ඝාතනය කළ සිදුවීම සියලු ලෝ වැසියන් විසින් අද (ජනවාරි 27) සමරනු ලබයි.
ඒ ''යුදෙව් සමූල ඝාතනය සැමරුම් දිනය" ලෙසිනි. 2001 වර්ෂයේ ජනවාරි 27 වැනි දින සිට මෙම දිනය සමරනු ලබන අතර එක්සත් රාජධානියේ සහ ඉතාලියේ මෙය ජාතික උත්සවයක් ලෙස පිළිගෙන ඇත.
වාර්ගිකත්වය පදනම් කරගෙන සිදුකළ මේ ජන සංහාරයේ දී 1941 වර්ෂයේ සිට 1945 දක්වා කාලයේ දී දරුවන් ලක්ෂ 20ක් සහ වැඩිහිටි ගැහැනු පිරිමි ලක්ෂ 50ක් ඝාතනය කළ බව සඳහන්වේ.
වර්ෂ 1933 දී හිට්ලර් ජර්මනියේ බලයට පත්වන්නේ මහජන ඡන්දයෙනි. හිට්ලර් තම රාජ්‍යයේ ගැලවුම්කාරයා යැයි ජර්මන් ජාතිකයෝ සිතූහ. ඔහුගේ දේශන ඉතා උද්වේගකර හා ජනප්‍රිය විය. වාර්ගික ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ ඔහු සිය දේශනවලින් නිතර නිතර කියා සිටියේය. ආර්යයන්ගේ ශ්‍රේෂ්ඨත්වයට යුදෙව් ජාතිකයන්ගෙන් තර්ජන පවතින බව විශ්වාස කළ හිට්ලර් මේන් කාමෆ් ( Mein Kamapf ) පොතක් ලියා ප්‍රකාශයට පත්කළ අතර එය ජර්මානුවන් අතර ප්‍රචලිත විය.
කිසිවෙකු හිට්ලර්ට අභියෝග කළේ නැත. හිට්ලර් යුදෙව් ජාතිකයන් සමූල ඝාතනය කිරීම ජර්මානු ජනතාවගෙන් සඟවන ලදී. ජර්මනියේ හෝ අත්පත් කරගත් අනෙක් ප්‍රදේශවල කිසිදු ආකාරයකින් යුදෙව්වන් සමූහ ලෙස මරා නොදමන බව නාසි ප්‍රචාරක කටයුතු සිදුකළ ජෝසර් ගොබෙල්ස් නිතර පැවසුවේය.
හිට්ලර් බලයට පත්වන විට ජර්මනියේ ජීවත් වූ යුදෙව්වන් සංඛ්‍යාව ලක්ෂ පහකට අධිකය. ඔවුන් රටේ ඉතා සමගි සම්පන්නව සාමකාමීව ජීවත් වූ නමුත් 1938 නොවැම්බර් 09 වැනි දා නාසි හමුදාව ජර්මානු යුදෙව්වන්ට එරෙහිව ක්‍රිස්ටල්නෑෂ්, පළිඟ රාත්‍රිය හෙවත් බිඳුණු වීදුරුවේ රාත්‍රිය නමින් ප්‍රහාර මාලාවක් දියත් කළේය. නාසි හමුදා කණ්ඩායම් යුදෙව් ව්‍යාපාරික ස්ථාන විනාශ කරමින් නිවාසවලට පහර දෙමින් යුදෙව් පල්ලි ගිනිබත් කරමින් මේ ප්‍රහාරය දියත් කරන්නට විය. පසුව හෙළිදරව්වුණේ මේ ප්‍රහාරය ජෝසප් ගොබෙල්ස් විසින් මෙහෙයවන ලද්දක් බවයි.
ඉන් පසු ජර්මනියේ හා අත්පත් කරගත් ප්‍රදේශවල යුදෙව්වන් සමූල ඝාතනය කිරීමය. එම අවසාන විසඳුම 1933 සිට 1941 අතර කාලයේදී ක්‍රියාවට නැංවිණි. හෙන්රිච් හිම්ලර් සහ ඇඩොල්ෆ් අයික්‌මාන් සැලැස්‌මේ ප්‍රධාන මොළකරුවෝ වූහ.
නාසි හමුදා විසින් යුරෝපයේ යටත් කරගත් ප්‍රදේශවල සිටි ලක්ෂ සංඛ්‍යාත යුදෙව්වන් වධකාගාර වෙත යැවීමට අයික්‌මාන්ව පත් කරන ලදී. හෙන්රිච් හිම්ලර් යුදෙව්වන් ලක්ෂ 60කට වැඩි පිරිසක් ඝාතනය කිරීමේ ප්‍රධානිය වූයේය. හිට්ලර් කියා සිටියේ බටහිර බලවතුන් සමග කටයුතු කරන විට යුදෙව්වන් ප්‍රාණ ඇපකරුවන් ලෙස කටයුතු කරන බවයි.
දෙවැනි ලෝක යුද්ධය අවසානයේ දී හෙළිදරව් වුණේ නාසි හමුදා විසින් අත්ත් කරගත් රටවල කඳවුරු 15,000ක යුදෙව්වන් ඝාතනය කළ බවයි. එහි වඩාත් කෲර හා පිළිකුල් සහගත තොරතුරක් වූයේ යුදෙව්වන් මරා ඔවුන්ගේ සිරුරුවල අඩංගු වූ මේදය භාවිතා කරමින් සබන් නිෂ්පාදනය කිරීමට ගත් උත්සාහයයි.
ලක්ෂ 40ක යුදෙව්වන් පිරිසක් අවුෂ්විට්ස්වල දී ඝාතනය කෙරුණු අතර බොහෝ යුදෙව්වෝ හාමතින්, ලෙඩ රෝග හේතුවෙන්, වධ හිංසා හේතුවෙන් මෙන්ම කුරිරු වෛද්‍ය පරීක්ෂණ හේතුවෙන් ද මිය ගියහ.
1933 වන විට යුරෝපයේ සිටි යුදෙව්වන් ලක්ෂ 90ක පිරිස 1945 වනවිට ලක්ෂ 30 දක්වා අඩුවීමෙන් ඝාතනයේ විශාලත්වය පෙනී යයි. ජර්මනිය යුද්ධයෙන් පරාජය වීමෙන් පසු මුදවාගත් යුදෙව්වන් පිළිබඳ සටහන් තැබූ බ්‍රිතාන්‍ය හමුදා පවසන්නේ වධකාගාරවල සිටි වැරහැලි ඇඳගත් අපිරිසිදු මළ සිරුරු වැනි යුදෙව්වන් ඇවිදින විට මැරී වැටුණු බවයි.
මේ සමූල ඝාතනයට ගොදුරුවූවන්ගේ මතකයට ගෞරව කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සියලුම සාමාජික රටවලින් ඉල්ලා සිටී.