අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අයවැය (2027) දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 97 කින් පාර්ලිමේන්තුවේ දී අද (20) පස්වරුවේ සම්මත විය.

දෙවැනි වර කියවීමට පක්ෂව ඡන්ද 157 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 60 ක් පමණි.

අයවැය දෙවනි වර කියවීමට සමගි ජන බලවේගය දෙමළ ජාතික සන්ධානය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරැණු 2027 අයවැය ලේඛනය පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය දින හතක් පුරා(අද දිනය දක්වා) පැවැත්වීණ.

.මේ අතර, අයවැයේ තුන්වන වර කියවීම නැතහොත් කාරක සභා අවස්ථාවේ විවාදය ( 21) සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වේ. ඒ සඳහා දින 19ක් වෙන්කර ඇති අතර සෙනසුරාදා දින හතරක්ද ඊට ඇතුළත් කර ඇත.

අයවැය ක්‍රියාවලියේ අවසන් අදියර වන තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට සැලසුම් කර ඇත.

ලබන 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 7 වැනිදා පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කෙරිණ.