අරණායක මෙහෙයුම් නවතී : 100 ක් පස් යට


අරණායක සාමසර කන්දේ නාය යාමෙන් මිය ගිය අය සෙවීම සිද්ධියෙන් දෙසතියකට පසු අද අවසන් කළ බව හමුදාව හා ප්‍රාදේශීය ලේකම් කාර්යයාලය කියයි. විටින් විට නාය යාමත්, අයහපත් කාලගුණයත් නිසා අතුරුදන් වූ 100 කගේ පමණ සිරුරු සොයාගත නොහැකි වේ.

හත්ගම්පොළ පාසලේ දී ලබන දෙවැනි දා උදෑසන 8 ට යුද හමුදාව, පොලිසිය, ආපදා කළමණාතකරණ ඒකකය, ප්‍රාදේශීය ලේකම් කාර්යයාලය, ගැමියන් සහයෝගයෙන් මළවුන් සඳහා පාංශුකූලය දී මහා සංඝරත්නයේ 60 නමකට දානයක් පිරිනැමීමට සැරසෙන බව යුද හමුදා බටහිර ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා කියයි.

මෙම සිද්ධියෙන් සිරුරු 35 ක් සොයා ගැනිණි. ඒ අතර පාසල් සිසුන් 11 දෙනෙකුගේ සිරුරු විය. අඩු ගණනේ සිසුන් 25 දෙනෙකුවත් පසුගිය 17 වැනිදා නාය යාමෙන් මිය යන්නට ඇතැයි අනුමාන කෙරේ.