(විමුක්ති එස් රුද්‍රිගු)
රේගුවේ හිරවී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන 400 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට බාධාවක් වූ, එම වාහන මෙරටට එවීම සඳහා අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ බියුරෝ වෙරිටාස් කාර්යාංශයට ඒ සඳහා බලය ලබා දෙමින් සහ වාහන රේගුවෙන් නිදහස් කිරීමට තිබෙන අනෙකුත් බාධාවන් ඉවත්කරමින් ඉතාමත් ඉක්මණින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ඒ පිළිබඳ අප පුවත්පත රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කර සිටියේ රේගුවේ සිරවී තිබෙන වාහන නිදහස් කිරීම සඳහා වන අවශ්‍යතා සපුරාලමින් ගැසට් පත්‍රයක් නිකුත් වීමට නියමිත බවත් එම ගැසට් පත්‍රය ඉතා ඉක්මණින් නිකුත් වනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.
බලාපොරොත්තු වන ආකාරයට එලෙස ගැසට් පත්‍රය නිකුත් වුවහොත් රේගුවේ හිරවී තිබෙන වාහන නිදහස් කිරීම ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ඒ මහතා පැවැසුවේය.
රේගුවේ හිරවී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන මුදා හැරීමට බාධාවක්ව තිබුණේ එම වාහන මෙරටට ආනයනය කිරීම සඳහා ජපානයෙන් අපනයන පරීක්ෂණ සහතික ලබාගත් සමාගම යැයි රේගු මාධ්‍ය ප්‍රකාශවරයා ප්‍රකාශ කළේය. ගැසට් පත්‍රය නිකුත්වීමත් සමග ජපානයෙන් ආනයනය කළ වාහන සම්බන්ධයෙන් මතුව තිබූ අර්බුදය අවසාන වනු ඇති බවත් මෙම ගැටළුව නිරාකරණය වනු ඇතැයි අපේක්ෂා කරන බවත් අරුක්ගොඩ මහතා පැවැසුවේය.
පළමු නැව පැමිණ දවස් 20 කට වඩා වැඩි බවද ඔහු ප්‍රකාශ කළේය. සිරවී තිබෙන වාහන වෙළඳපොළ පැමිණි විට වාහන මිල පහළ යනු ඇති බවත් වාහන තවදුරටත් රේගුවේ සිර වුවහොත් වාහන මිල ඉහළ යා හැකි බවත් වාහන අපනයන කරුවෝ පෙන්වා දුන්හ.
ඒ හේතුවෙන් වාහන නිදහස් කිරීමට ඇති බාධා ඉවත් කරමින් හැකි ඉක්මණින් නව ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.