ආණමඩුව සමූපකාරයේ සභාපති ඇතුළු තුනක් අත්අඩංගුවට


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව විවිධ සේවා සමුපකාර ප්‍රධාන කාර්යාලය කලින් පවත්වාගෙන ගිය භුමියේ විවිධ වර්ගයෙ ගස් විශාල සංඛ්‍යාවක් කිසිදු අවසරයකින් තොරව කැපිමේ චෝදනාවට ආණමඩුව විවිධ සේවා සමුපකාරයෙ සභාපතිවරයා සමඟ තවත් තිදෙනෙකු  අද (04) අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව විවිධ සේවා සමුපකාර සමිතියෙ වත්මන් සභාපතිවරයා සහ අදාල ගස් කැපිම සිදුකළ කම්කරුවන් දෙදෙනෙකු සමඟ  තවත්  අයෙකි.

ආණමඩුව විවිධ සේවා සමුපකාරය ප්‍රධාන කාර්යාලය ඇතුළු කාර්යාල පද්ධතිය  වසර ගණනාවකට පෙර පවත්වාගෙන ගිය ස්ථානය සහිත භුමිය තුළ තිබු කොහොඹ ඇතුළු ගස් රැසක් කපා දැමිම පිළිබදව ආණමඩුව ප්‍රාදේශිය ලේකම් මහත්මිය විසින් ආණමඩුව පොලිසියට මේ පිළිබදව ලිපියක් ඉදිරිපත් කරමින් ඒ සම්බන්ධව පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා තිබුණි.

ඒ අනුව පරික්ෂණ ආරම්භ කළ ආණමඩුව පොලිසිය , මෙම ගස් කැපිමට හා එයට අනුබල දීම ඇතුළු චෝදනා සම්බන්ධව ආණමඩුව සමුපකාර සභාපතිවරයා ඇතුළු පිරිස මෙලෙස අත් අඩංගුවට ගෙන තිබුණි.