ආණ්ඩුව රටේ නීතියේ ආධිපත්‍යය නැති කරනවා


(යොහාන් භාසුර)

වර්තමාන ආණ්ඩුව රටේ නීතියේ ආධිපත්‍යය නැතිකර ජනතාව සහ ජනමාධ්‍ය මර්ධනය කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (31) පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී අද පැවැති මාධ්‍ය හමුවේදී සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.

රටක නීතියේ ආධිපත්‍යය තිබේ නිදහසේ කටයුතු කිරීමට කිසිවෙකුට බාධා කළ නොහැකි බවත් නීතියේ අධිපත්‍යය නැතිකළ හොත් එම රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ජනතාවට අහිමිවන බවත් ඒ මහතා කීය.

එය ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවගේ නිදහස වැඳගත්ම සාධකයක් බවත් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ, කැමති රැකියාවක් කිරීමේ අයිතියි, කැමති ආගමක් ඇඳහීමේ ආදි නිදහසේ අවශ්‍ය කටයුතු කිරීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක සහතික කර තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසීය කියන ආයතන තුන මෙරට තුළ නීතියේ ආධිපත්‍ය රැකගැනීම සඳහා කටයුතු කරන බවත් ආණ්ඩුවේ දේශපාලන වේදිකාවේ සිටි විශ්‍රාම ගිය නිලධාරීන් දෙදෙනෙක් පොලිසිය භාර ලේකම්වරයා සහ අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානියා ලෙස පත්කර ශ්‍රී ලංකා පොලිසිය අභිමානයෙන් තොර තැනක් බවට පත්කර පොලිසිය දේශපාලනීකරණය කර ඇති බවත් ඔහු කීය.

ස්වාධීන පොලිස් කොමිසමේ අනවශ්‍ය දේශපාලන මාරුකි්රීම් කර දේශපාලන බලපෑම් කරමින් අභිමාන බිඳදමමින් තිබෙන බවත් නීතිපති දෙපාර්තමේකන්තුවට බලපෑම් කරන ආකාරය පසුගිය කාලය දැකගතහැකි වූ බවත් කාරියවසම් මහතා පැවසීය.

අධිකරණයට කෙළින්ම පහර දීමට නොහැකි නිසා දේශපාලනයේදී යොදාගත් පුද්ගලයා හරහා ජනතාව ගරු කරන විනිශ්චයකාරවරුන්ට සමාජ මධ්‍ය හරහා මඩ ප්‍රහාර එල්ල කරමින් සිටින බවත් එම ප්‍රහාරයන් හේතුවෙන්ම විනිශ්චකාරවරයෙක් පසුගියදා නඩුවකින් ඉවත්වූ බවත් ඒ මහතා කීය.  

නීතියේ ආධිපති්‍ය නැති රටකට විදේශ ආයෝජකයන් කිසිසේත්ම නොපැමිණෙන බවත් රටේ වර්තමාන භායානක තත්වය වෙනස් නොකළ හොත් ආයෝජකයන් නොයෙන බවත් ඔහු සඳහන් කළේය.  

ආණ්ඩුවට වැඩියෙන්ම බනින මිනිහා ඊළඟට අත්අඩංගුවට ගන්නේ යැයි මන්ත්‍රීවරයෙක් පැහැදිළිව ප්‍රකාශ කළ බවත් එම තර්ජනය ඔවුන්ගේ මර්ධනයේ සෘජු ප්‍රතිඵලයක් බවත් ඒ මහතා කීය.

ආණ්ඩුව මේ ආකාරයටම ජනමාධ්‍ය මර්ධනය කිරීමට කරන උත්සහයේදී පසුගිය කාලයේ රූපවාහිනී නාලිකාවලට සහ පුවත්පත්වලට තර්ජනය කළ ආකාරය දැකගත හැකිවූ බව කී ඒ මහතා ආණ්ඩුවක් හැටියට වැඩකිරීමට නොහැකි වූ විට විවේචනය කරන අයගේ කටවල් වසා ජනතාවගේ ඡන්දය ගැනීමට උත්සහ කරන බව ද සඳහන් කළේය.

අප්‍රේල් මස 21 ට පෙර කීපදෙනෙක් අත්අඩංගුවට ගන්නවා යැයි ජනාධිපතිවරයා කරන ප්‍රකාශය විහිළුසහගත බවත් එක එක පුද්ගලයන් හිරේ දාන්න නැකත් බලනවද? අවුරුදු කෑවට පසුව හිරේ දානවද කියන එක නොව ආණ්ඩු බලය තිබියදී කිය කිය සිටීමේ අවශ්‍යතාවක් නොමැති බවත් කාරියවසම් මහතා පැවසීය.

විධායක බලය ඇති ජනාධිපතිවරයෙක්ට එවැනි ප්‍රකාශ කිරීම කිසිසෛ්ත්ම සුදුසු නොවන බව කී කාරියවසම් මහතා පැවසුවේ කිසියම් පුද්ගලයෙක් අත්අඩංගුවට පත්විය යුත්තේ නීතියට අනුව මිසක් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දේශපාලන වේදිකාවේ ප්‍රකාශ කිරීම ඉතාම තුන්වැනි පංතියේ ක්‍රියාවක් බව ද සඳහන් කළේය.

වර්තමාන ආණ්ඩුව ජනතාව රැවැට්ටුවේ යැයි ජනතාව මේ වන විට තේරුම් ගෙන තිබීම නිසා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවත වරක් බොරු කියා තෙවැනි වතාවටත් ජනතාව රැවටීමට සූදානම් වන බවත් මෙරට සමහර ප්‍රදේශවල පන්සලේ හාමුදුරුවන්ට ධාන වේලක් දීමට නොහැකි තත්වයක් උද්ගත වෙමින් ඇති බවත් ඔහු පැවසීය.

වර්තමාන ආණ්ඩුවට බලයට ඒමට බෙදුම්වාදීන් උදව් කළේ යැයි ජනතාව අවබෝධකරගත යුතු බව කී කාරියවසම් මහතා බෙදුම්වාදීන්ට අවශ්‍ය ආකාරයට ආණ්ඩුව කටයුතු කරන බව ද සඳහන් කළේය.  

ජනතාව එළඹෙන පළාත් පාලන ඡන්දයේදී එකම බොරුවට රැවටේ යැයි විශ්වාස නොකරන බව ද ඔහු සඳහන් කළේය.