උඩරට දුම්රිය ධාවනයට බාධා


(ප්‍රසාද් රුක්මල් ) 

උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (13) පස්වරුවේ  විශාල ගල් කඩා වැටීමෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පොඩිමැනිකේ දුම්රිය එම ස්ථානයේ සිරවී නවතා තබා ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .

පවතින වර්ෂාවත් සමඟ මෙසේ උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගල් කඩා වැටී ඇති අතර , එම අවස්ථාවේ එම ස්ථානය අසලින් ධාවනය වෙමින් තිබූ කොළඹ කොටුව සිට බදුල්ල බලා පැමිණි අංක 1005 දරණ පොඩිමැණිකේ දුම්රිය දුම්රිය රියදුරුගේ  දක්ෂතාව මත නවතා ගෙන ඇතැයි දුම්රිය බලධාරීහු පැවසූහ .

මේ අතර බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය දැනට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ නවතා තබා ඇත.

දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති ගල් ඉවත් කිරිමට කටයුතු සිදු කරන බවත් නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය .