උතුරු කොරියාව ’ලොව බලවත්ම ආයුධය’ ප්‍රදර්ශනය කරයි


උතුරු කොරියාවේ හමුදා ශක්තිය විදහා දැක්වීම සඳහා පවත්වනු ලැබූ පෙළපාළියකදී 'ලොව බලවත්ම ආයුධය' ලෙස නම් කරනු ලැබූ, සබ්මැරිනයක සිට දියත් කරන බැලස්ටික් මිසයිල කිහිපයක් ප්‍රදර්ශනය කළ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

නායක කිම් ජොන් උන් විසින් පෙළපාලිය අධික්ෂණය කරනු ලැබූ අතර උතුරු කොරියානු මාධ්‍ය විසින් නිකුත් කරනු ලැබූ ඡායාරූප වලින් පෙන්නුම් කරන්නේ විශාල කළු සුදු මිසයිල හතරක් ප්‍රදර්ශනය කළ බවයි.

උතුරු කොරියානු නිල පුවත් ඒජන්සිය එම අවස්ථාව විස්තර කරමින්, "ලෝකයේ බලවත්ම ආයුධය වන සබ්මැරීනයක සිට දියත් කරන බැලස්ටික් මිසයිල එකින් එක චතුරස්‍රයට ඇතුළු වී විප්ලවවාදී සන්නද්ධ හමුදාවන්ගේ ශක්තිය පෙන්නුම් කරයි" යනුවෙන් පවසා තිබේ.

පසුගිය සතියේ සිය පක්ෂයේ සාමාජිකයින් අමතමින්, කිම් මහතා උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි සහ මිලිටරි ශක්තිය වැඩි කරන බවට ප්‍රතිඥා දී තිබිණ.

"ඇමරිකා එක්සත් ජනපදය උතුරු කොරියාවේ විප්ලවයට ඇති ලොකුම බාධකයයි, බලයේ සිටින්නේ කවුරුන් වුවත් උතුරු කොරියාවේ ප්‍රතිපත්ති කිසිවිටකත් වෙනස් නොවනු ඇත." යනුවෙන් කිම් මහතා පවසා තිබේ.

විශ්ලේෂකයන් පවසන්නේ ඇමරිකාවේ නව ජනාධිපතිවරයා වන බයිඩන්ගේ පාලනයට උතුරු කොරියාවේ වර්ධනය වන යුධ ශක්තිය පෙන්නුම් කිරීම සඳහා මෙම පෙළපාලිය පැවැත්වූ බවයි.

(බීබීසී ඇසුරිණි)


085