කාදිනල් තුමෝ ‘සිරි දළදා වන්දනා’ අගයති


(යොහාන් භාසුර)

දන්ත ධාතූන්වහන්සේ ප්‍රදර්ශනය කරන අවස්ථාව ශ්‍රී ලංකාවේ ජාතීන් සහ ආගමිකයන් අතර සහයෝගිතාව වර්ධනනය කරගැනීම බුදුරජාණන් වහන්සේට දක්වන විශාල ගෞරවයක් බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පැවසූහ.

‘සිරි දළදා වන්දනා’ ධාතු ප්‍රදර්ශනය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ එසේ සඳහන් කළහ.

බෞද්ධයන් දන්න ධාතූන් වහන්සේට ගෞරව කිරීමට පෙළ ගැසී එන මොහොතේදී කිතුණු ජනතාව සහෝදරත්වයෙන් ඔවුන් සමඟ එකතු වන බව ද කාදිනල් හිමිපාණෝ කීහ.

ශ්‍රී ලංකවේ ඉතාමත්ම උතුම් වූ වස්තුවක් වන බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහහන්සේ ලංකා පොළවතළය මත වැඩවාසය කිරීම සියලු දෙනාටම ලැබුණු විශාල ආශිර්වායක් බවත් දන්ත ධාතූන්වහන්සේ ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකාවේ රජය අතිපූජ්‍ය මහානායක ස්වාමීන්වහන්සේගෙන් ඉල්ලා සිටීම සහ ඒ ඉල්ලීම පිළිගෙන ඒ ආගමික නායකත්වය ගත් ක්‍රියාදාමය අගය කරමින් ස්තූතිවන්ත වන බවත් උන්වහන්සේ පැවසූහ.

අපේ ජාතික සංස්කෘතිය සහ සභ්‍යයත්වය සංස්කරණය වී නිර්මාණය වී ඇත්තේ බුදුහාමුදුරුවන්ගේ දේශනාවලින් ලැබුණු ධර්මතුළින් බවත් රට තුළ සහෝදරත්වය, සාමය, එකඟතාවය සහ ජාතීන් අතර එකමුතුව වර්ධනය කිරීමට එම ධර්මයෙන් ලැබෙන උතුම්වූ ආභාෂය නිසා එම ධර්මයේ උතුම් බව තව තවත් වැටහෙන බවත් උන්වහන්සේ කීහ.

මෙවැනි උතුම් වස්තුවක් ලැබී ඇති මෙරට ජනතාව මොන ආගම ඇදහුවත් මේ රටේ ඉපදීමට වසනාව ලැබූ අය බවත් ඒ නිසා උද්දාමයට පත් වන අතර මෙරට පොදු උරුමයේ කොඳුනාරටිය වන බුදුදහම ආරක්‍ෂා කරගැනීමට සෑමදෙයක්ම කළ යුතු බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ.

අන්තර් ආගමික සහෝදරත්වය වර්ධය කරන්න වූ මෙම උතුම් අවස්ථාව ගැන සතුටු වන අතර සියලු දෙනාටම අවංක ස්තූතිය පුදකරන බව ද කාදිනල් හිමිපාණෝ වැඩි දුරටත් සඳහන් කළහ.