කෑම පැකට්ටුව දුම්රිය ප්‍රමාද කරයි


(යොහාන් භාසුර)

කෑම පාර්සලය නියමිත වෙලාවට රියදුරු කුටියේ නොතැබීමට විරෝධය දක්වමින් කුරුණෑගල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය පසුගිය 22 වැනිදා විනාඩි 30 කට අධික කාලයක් ප්‍රමාද කළ රියදුරු සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘ලංකාදීප’යට පැවසීය.

රියදුරන්ගේ දැඩි හිඟයක් පැවතීම නිසා අදාල රියදුරුගේ වැඩතහනම් කිරීමේ හැකියාවක් නොමැති බවත් ඔහු සේවය කරන අතරතුරදී පරීක්‍ෂණය පවත්වන බවත් ජයසුන්දර මහතා කීය.

රියදුරන්ගේ හිඟයක් හේතුවෙන් අදාල දුම්රිය එම සිද්ධියෙන් පසුව දින කීපයක් ධාවනය නොකළේ යැයි දැනගැනීමෙන් පසුව එයට විසඳුම් දුන් බවත් එම දුම්රිය ඉදිරියේදී අඛණ්ඩව නියමිත ගමන් වාරය ක්‍රියාත්මක කරන බවත් ධම්මික ජයසුන්දර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් දහවල් 12.30 ට පිටත්වීමට නියමිතව තිබූ මෙම දුම්රියේ රියදුරුගේ කෑම පාර්සලය නියමිත වෙලාවට රියදුරු කුටියේ නොතැබීමට විරෝධය දක්වමින් ඔහු දුම්රිය ධාවනය විනාඩි 30 කට අධික කාලයක් ප්‍රමාද කර තිබේ.

මෙම ප්‍රමාද කිරීමට ජනතාව සහ දුම්රිය ස්ථානයේ නිලධාරීන් විරෝධය දක්වා ඇති අතර ඒ හේතුවෙන් කුරුණෑගල දුම්රිය ස්ථානය තුළ නොසන්සුන්කාරී තත්වයක් ඇතිවිය. ඒ අතරතුර රියදුරුගේ කෑම පාර්සලය ලැබීම නිසා ධාවනය ආරම්භ කළ බව ද වාර්තා වේ.

මෙම සිද්ධියෙන් පසුව දින කීපයක් අදාල දුම්රිය ගමන් වාරය අවලංගු කිරීමට ද දුම්රිය බලධාරීන් කටයුතු කර ඇති අතර පසුව එම දුම්රිය මේ වන විට පොල්ගහවෙළ දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කරන බව ද දුම්රිය මගීහූ පවසති.