කුලී රථ රියදුරා ගුවන් මගියාගේ ලක්ෂ 9කට විදලා


(ටී.කේ.ජී.කපිල )

ඩුබායි සිට පැමිණි ගුවන් මගියෙකුගේ අත් බෑගයෙහි තිබූ රුපියල් නව ලක්ෂ හාර දහස් හාරසීයයක මුදල් තොගයක් සොරා ගත් , ගුවන් තොටුපොළ කුලී රථ රියැදුරුවරයෙකු අද (31)  කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ .

ඩුබායි හි මානව සම්පත් සහකාර කළමණාකරුවෙකු ලෙස සේවය කළ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ඉකුත් 29 දින රාත්‍රී 09.30 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට  පැමිණ තිබුණි .

ඉන්පසුව ඔහු සිය නිවෙසට  යාමට  කටුනායක ගුවන් තොටුපොළෙන් රථයක් ලබා ගෙන ඇති අතර , අමතක වීමකින් එම රථයෙහි , ඔහුගේ ලැප්ටොප් පරිගණකය අඩංගු බෑගය දමා ගොස් තිබුණි .

පසුව ඒ පිළිබද රථ රියැදුරුවරයාගෙන් විමසූ විට , එය තම රථයෙහි ඇති බවත් , එය කටුනායක ගුවන් තොටුපොළට පැමිණ භාර ගන්නා ලෙසත් දැනුම් දී තිබේ .

ඒ අනුව ගුවන් මගියා අද  උදෑසන අදාළ බෑගය භාර ගෙන පරීක්ෂා කිරීමේ දී , එහි වූ රුපියල් 904,400 ක මුදල නොමැති බව දැන ගැනීමෙන් පසු , කටුනායක ගුවන් තොටුපොළ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ .