කෙසෙල් කැනේ හබේ දුර දිග ගිහින් පොල්ලකින් ගසා මරලා


(රවීන්ද්‍ර විරාජ් )

කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු  46   දෙදරු පියකු මරණයට පත්ව ඇති බව රත්තොට පොලිසිය පවසයි.

රුපියල් දහසක් වටිනා කෙසෙල් කැනක් හොරෙන් කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් කෙසෙල් කැන කැපූ හොරා පිළිබඳව හෝඩුවාව දුන් බවට සැකකොට ඊයේ (16) අසල්වැසියාට මට්ටම් පොල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.

මෙම ගැටුමින් මරණයට පත්ව ඇත්තේ නාගුලියද්දේ  පිටියේ ගෙදර පදිංචි සරණසිංහ බණ්ඩාර නමැති දෙදරු පියෙකු බව පොලිසිය සඳහන් කරයි.

පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල් කැන කැපූ බවට සැක කළ අසල්වැසි පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.