ගල්වළේ නාන්න ගිය සිසුහු දෙදෙනා මරුට


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

නවගමුව තුන්අඳහේන අක්බාර් වත්ත ප්‍රදේශයේ ජලයෙන් පිරී තිබූ ගල් වලක ස්නානය කිරීමට ගිය පාසල් සිසුන් දෙදෙනකු අද සවස දියේ ගිලී මියගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කඩුවෙල කොරතොට , තුනඅදහේන ,ජයරත්න මාවතේ පදිංචි ආරච්චිගේ නදුන් ඉදුවර (12) සහ  කනත්ත දේවගේ සඳුන් නිම්සර (15) හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු බව පොලිසිය කියයි.

පවතින වර්ෂාපතනයත් සමඟ තුන් අදහේන අක්බාර් වත්ත ප්‍රදේශයේ ගල් වළක ජලයෙන් පිරී තිබූ වළක ස්නානය කිරීම සඳහා (17) දා සවස පහට පමණ මෙම සිසුන් දෙදෙනා ගොස් තිබුණි.

එහෙත් ස්නානය කිරීම සඳහා ගිය ළමුන් දෙදෙනා ටික වේලාවක් යනතෙක් දක්නට නොතිබූ බැවින් ප්‍රදේශවාසීන් සමග ළමුන් දෙදෙනාගේ ඥාතීන් දරුවන් දෙදෙනා සොයා තිබුණි. එහෙත් දරුවන් දෙදෙනා දක්නට නොතිබූ බැවින් ප්‍රදේශවාසීන් හා යුද හමුදා නිලධාරීන් එක්ව ජලයෙන් පිරී තිබූ ගල්වලට බැස සොයා තිබූ අතර පසුව ඒ තුළ තිබී මියගිය දරු දෙදෙනාගේ මළ සිරුරු දෙක මෙසේ සොයා ගත් බව පොලිසිය කියයි .