ගුවන් අනතුර ගැන සොයන්න කමිටුවක්


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක මූලික කඳවුරේ අංක 5 ප්‍රහාරක බලඝණයට අයත් කේ -8 වර්ගයේ යානයක් අද (21) පෙරවරුවේ අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කිරීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සාමාජිකයන් හත්දෙනකුගෙන් යුත් විශේෂ පරීක්‍ෂණ කමිටුවක් පත්කළ බව ගුවන් හමුදාව පැවසීය.

ගුවන් නියමුවන්ගේ උසස්වීමේ සඳහා යොදාගන්නා අදාල යානය පුහුණුවීමක් අතරතුරදී කුරුණෑගල, වාරියපොළ ප්‍රදේශයේදී හදිසි අනතුරකට ලක්වූ බවත් එහි ගුවන් නියමුවන් දෙදෙනා ආරක්‍ෂිතව ඉවත්වී කුරුණෑගල, පාදෙණිය මිනුවන්ගැටේ විද්‍යාල පරිශ්‍රයට පැරෂූට් ආධාරයෙන් ගොඩබැස ඇති බවත් ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පැවසීය.

පැරෂූට් ආධාරයෙන් දිවිගලවාගත් එම යානයේ ප්‍රධාන පුහුණු උපදේශක ගුවන් නියමුවා සහ පුහුණු ගුවන් නියමුවා කුරුණෑගල ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළේය.

එම ගුවන් යානය ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරෙන් අද (21) පෙරවරු 7.27 ට පමණ ගුවන්ගත වී ඇති බවත් පෙරවරු 7.55 ට පමණ අනතුරට පත්ව ඇති බවත් ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂවරයා වැඩි දුරටත් පැවසීය.