ජනාධිපති බ්‍රිතාන්‍ය ඩයස්පෝරාව හමුවෙයි


(අංජුල මහික වීරරත්න)

සමෘද්ධිමත් ලාංකික ජාතියක් බවට පත් වීම සඳහා එකට එක්ව සටන් කරමු යැයි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඇරැයුම් කළේය.

බංකොලොත්භාවයට එරෙහිව එක්ව සටන් කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව කීවේ බ්‍රිතාන්‍යයේ වෙසෙන ලාංකික ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සහ වෘත්තිකයින් සමඟ පැවැති සාකච්ඡාවකදීය.

එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට ගිය ජනාධිපතිවරයා සහ එරට ඩයස්පෝරාව අතර හමුව බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කර තිබිණි.

ඩයස්පෝරා කාර්යාල ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති නව ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස ද ජනාධිපතිවරයා ඔවුන්ට ආරාධනා කළේය.

බ්‍රිතාන්‍ය නව රජුගේ නායකත්වයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් ලෙස අනාගත අභියෝග ජයග්‍රහණය කරමින් ඉදිරියට කටයුතු කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයකට එක්ව සිටින දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක හා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.