ජනාධිපතිවරණයේ අවසාන තීරකයා ශ්‍රේෂ්ඨාධිකරණය නොවෙයි


 

උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ අවසන් තීරකයා ශ්‍රේෂ්ඨාධිකරණය නොවන බව එරට නීති විශාරදයෝ පෙන්වදෙති.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත් තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (4) පැවැසීය.

මැතිවරණ දිනයේදී හෝ ඉන් පසුව තැපෑල මාර්ගයෙන් ලැබුණු ඡන්දය ගණනය නොකරන්නැයි ඉල්ලමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය ද ජනාධිපතිවරණයේ තීරණයට එය බල නොපානු ඇතැයි නීති විශාරදයෝ පෙන්වාදෙති.

මෙවර ජනාධිපතිවරණය තියුණු සටනක් බවට හැරුණු අතර මිචිගන් සහ පෙන්සිල්වේනියා යනාදී ප්‍රාන්තවල සමීප සටනක් පැවැත්විණි.

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අද (5) වනතුරුත් ගණනය කෙරෙමින් තිබිණි.

තැපෑල මඟින් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයට ජනාධිපති ට්‍රම්ප් සිය මැතිවරණ ව්‍යාපාරය තුළ දී ද දිගින් දිගටම විරෝධතාව පළ කළ අතර එම ක්‍රමවේදය මඟින් වංචා සිදුවිය හැකි යැයි හෙතෙම දිගින් දිගටම පැවැසීය.

ට්‍රම්ප්ගේ මැතිවරණය ව්‍යාපාරය මෙන්ම ප්‍රාන්ත කිහිපයක රිපබ්ලිකන් පක්ෂයේ තවත් සැලකිය යුතු පිරිසක් මේ වනවිටත් පැමිණිලි කර ඇතැයි ද රිපබ්ලිකන් පක්ෂයේ තවත් පිරිසක් මිචිගන් ප්‍රාන්තයේ ඡන්දය ගණනය කිරීම නවත්වන්නැයි පැමිණිලි කළ බවත් ඊයේ වාර්තා විය.

රොයිටර්ස්

055