ජාතික ආරක්ෂාවට බලපාන අසත්‍ය තොරතුරු ප්‍රචාරය එපා


(අංජුල මහික වීරරත්න)

වඩා හොඳ රාජ්‍යයක් ගොඩ නැගීමේ කාර්යයේ දී  මාධ්‍ය පිටස්තරයන් නොව එහි කොටස් කරුවන්  බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 

ජනාධිපතිවරයා මේ බව කීවේ අද (05) ජනාධිපති කාර්යාලයේ දී විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවේදීය.

ජනතාව යහපත් දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කරන අතර ඒ වෙනුවෙන් ඔවුන් වත්මන් රජය පත් කර ගත් බව කී ජනාධිපතිවරයා ජනතාව අපේක්ෂා කරන එම නව දේශපාලන, සමාජ සහ ආර්ථික වෙනස රට තුළ ඇති කිරිමට එක් වන ලෙස  සියලු මාධ්‍ය ආයතනවලට ආරාධනා කළේය. 

දේශපාලන සහ ආර්ථික කරුණු වලට අදාළව ඕනෑම අවස්ථාවක ආණ්ඩුව  ප්‍රශ්න කිරීමට හෝ  විවේචනය කිරීමට මාධ්‍යයට කිසිදු බාධාවක් නොමැති වුවද ජාතික ආරක්ෂාවට හානිදායක වන අසත්‍ය තොරතුරු වාර්තා නොකරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී මාධ්‍ය ආයතන  ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.