ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි


(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැවීම සම්බන්ධයෙන් හෙට (19) අවසන් තීරණයක් ගන්නා බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සියලු පක්ෂ වල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වෙන බව ද වජිර අබේවර්ධන මහතා කීය.

අදාල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තලතා අතුකෝරාල මහත්මිය  හෝ නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා නම් කළ යුතු බවට තම පක්ෂයේ මතය වී යැයිද වජිර අබේවර්ධන මහතා පැවසීය.

රවී කරුණානායක මහතා අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමේ තීරණය නිසා එක්සත් ජාතික  පක්ෂ ව්‍යවස්ථාවේ 3(3), 3(4), 9(7), 13(7), යන 13(8) වගන්ති උල්ලංඝනය වී ඇතැයි ද වජිර අබේවර්ධන මහතා කීය.

කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.