රංගන යනු පුංචි බලාපොරොත්තු ටිකක් එක්ක සාමාන්‍ය විදියට ජීවත්වන තරුණයෙකි. අතපත ගෑ සමාජයක ජීවත්වන මේ තරුණයා ලස්සන ආදර කතාවත් එක්ක තමයි ජීවිතය ගෙවන්නෙ. අන්තිමට මේ තරුණයාගෙන් එයාගේ පෙම්වතිය අහන්නෙ ‘අපි මේක නවත්තමුද’ කියලයි.
නවත්තමු.
මේ රංගනට අන්තිමට ඇයගෙන් අහන්න වෙන්නෙ එච්චරමද?
ඒ ගැන වැඩිදුර දැන ගන්න නම්? සමීර රංගන නාඔටුන්න නිර්මානය කළ ‘මෝටර් බයිසිකල්’ චිත්‍රපටය නරඹන්නට ඕනෑ.
මේ දිනවල තිරගත වන මෝටර් බයිසිකල් මේ වනවිටත් අන්තර්ජාතික සම්මාන කීපයකින්ම සම්මානයට පාත්‍ර වූ චිත්‍රපටයකි. එහි ‘රංගන’ නමැති තරුණයාගේ භූමිකාව නොහොත් මෙහි ප්‍රධාන චරිතයක් වන ඊට දායක වන ඔහු දසුන් පතිරණය. මෝටර් බයිසිකලයේ නැගී දිගු රංගන චාරිකාවක් යන අතරේ දසුන් සඳැල්ලේ මොහොතකට නතර වූ විදියයි මේ.
මම ඉතින් ඉතාම සරල මනුස්සයෙක්. ජීවිතේ විඳවන්නෙ නැතුව විඳින්නෙ කොහොමද කියලා ට්‍රයි කරනවා. පොඩි කාලයේ ඉඳලාම නළුවෙක් වෙන්න තමයි උත්සාහ කළේ. වෙන දේකට දක්ෂ වුණෙත් නැහැ. ඒ හන්දා වෙන කිසි දේකට සහතිකයක්වත් නැහැ. දන්න කාලයේ ඉඳලාම ඩ්‍රාමා සහ නැටුම් තමයි කළේ.
කලාවටම උරුම වූ ඒ ජීවිතය පටන් ගැනීමට මුල් වූ හේතුව?
කේරි විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ සිටම තමයි ඒ පරිසරය නිර්මාණය වුණේ. මුලින්ම මම මොනවා හරි දෙයක් කරලා පෙන්නුවා නම් කේරි විද්‍යාලය තමයි ඒ අත්තිවාරම දාලා දුන්නෙ. එතැනින් ලැබුණු මුල එක්ක පසු කාලයක මම ‘මිල්ලෙ සොයා’ චිත්‍රපටය නැරඹුවාම මහේන්ද්‍ර පෙරේරා රංග ශිල්පියාගේ රංගනය දැකලා පිස්සු වැටෙනවා. ඔන්න ඒ පාර ඔහුගේ රංග භූමියට ගියේ රංගනය සඳහා වූ වැඩමුළුවට සහභාගි වෙන්නයි. ඒ විදියට ගිය ගමන තමයි මේ දක්වා ආවේ.
ගෙදරින් මොනවත් කිව්වෙ නැද්ද?
ප්‍රශ්න ගොඩාක් තිබුණා. නෑදෑයින් යාළු හිත මිත්‍රාදීන්ගෙන් පවා ඈත්වෙලා රඟපෑම ගැන උනන්දු වුණා. ඕනෑම අම්මා තාත්තා කෙනෙක් වගේ මගේ අම්මා තාත්තත් මගෙන් බලාපොරොත්තු වුණේ ටයි එකක් දාගෙන යන රස්සාවකටයි. හැබැයි මගෙන් එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. ඒ හන්දා කෝ ඉතින් රඟපාන්න යනවා කියලා ගියාට ටී.වී. එකේ පෙන්නන් නෑනේ කියලා තමයි වටපිටාවේ අය කියන්න පටන් ගත්තෙ. හැබැයි ඉතින් අම්මා තාත්තා උඹට කැමති දෙයක් කර ගනින් කියලා සහයෝගයත් ලබා දුන්නා. බැරිම තැන සමහර විට එහෙම කරන්න ඇත්තෙ.
ගෙදර ඔබ හැර වෙන කවුද තව ඉන්නේ.
අම්මා තාත්තා මම සහ නංගි විතරයි.
පවුලේ වැඩිමලා ජොබ් එකක් කරන්න ඕනෑ නේද?
ඔව් ඉතින්, ඒත් මම ගිහින් බැංකු රස්සාවක් කරන්නයැ? මට ඒකට සහතික නැහැ. ඉතින් දන්න දේ කළා. ගෙදර අය ඒක තේරුම් ගත්තා.
ඇයි මේ තරමට නළුකමට පෙම් බැන්දේ?
මුල්ම කාලයේ තිබුණෙ ආසාවක් විතරයි. පසුව මහේන්ද්‍ර අයියගෙ නාට්‍ය වැඩමුළුවට ගියාම මේක හදාරන්නම ඕනෑ කියලා හිතුණා. නළුකම එක්ක යන ගමනට එතැනදී පාරවල් කීපයක් මට පෙනුණා.
ඊට පස්සේ අවස්ථා ලබා ගත්තෙ කොහොමද?
මුල්ම කාලයේදී අවස්ථා ලැබුණෙ නැහැ. හොඳ උස මහතට රතුවට ලස්සනට හිටපු කොල්ලන්ට චරිත ලැබුණා. මම ඒ වගේ පෙනුම තිබුණු කෙනෙක් වුණේ නැහැ. හැබැයි ඒකම මට මාර චාන්ස් එකක් වුණා. ඒ හන්දා මට මේ රංගනය ගැන හොඳට ස්ටඩි කරන්න පුළුවන් වුණා. ෆුල්ටයිම් එහෙම කළා. ඒ කාලයේ අපේ ටීම් වර්ක් එකක් තිබුණා. ඒ හරහා වැඩ එන්න පටන් ගත්තා.
පේ්රක්ෂකාගාරයක් අතරට ගියේ?
මියුසික් වීඩියෝවලට අර මම කිව්ව ආකාරයට පෙනී සිටින්න ලැබුණා. ඒ සිංදු වගේම වීඩියෝ හිට් වුණා. ඒ හරහා මටත් පුංචි ඇගයීමක් ලැබුණා. මේ අර අරයා නේද කියලා ෆීල්ඞ් එකේම අයත් කතා කරන්න පටන් ගත්තා.
එතකොට බයිසිකලේ ලැබුණෙ?
2007දී විතර අපේ සෙට් එකේ හිටපු තිසර ඉඹුලාන තරුණසේවා නාට්‍ය උළෙලට කෙටි නාට්‍යයක් කළා ‘කෑල්ලක් 250යි’ කියලා. ඒ අතරේදී තමයි සමීර මට කිව්වෙ මම ෆිල්ම් එකක් කරනවා ඒකෙ ඉන්නෙ උඹ කියලා. ‘මෝටර් බයිසිකල්’ රඟපෑවේ ඒ විදියටයි.
මෝටර් බයිසිකල් පදින්න පුළුවන්ද?
බොහෝ නිර්මාණවලදී මෝටර් බයිසිකලය ලැබුණ නිසා පුළුවන්.
දැන් ඔබටම කියලා මෝටර් බයිසිකලයක් තියෙනවද?
තවම නැහැ. තවම යන්නෙ එක එක වාහනවල තමයි.
‘මෝටර් බයිසිකලයේ’ මේ විදියට නගින්නට පෙර ඔබ ටෙලි කැමරාව ඉදිරියේ අපූරුවට රඟපෑවා නේද?
මුලින්ම මහේන්ද්‍ර අයියගෙ ‘ස්ටාර් ශ්‍රී ලංකන් හිස්තැනක්’ රඟපාන්න ලැබුණා. පසුව ආනන්ද අබේනායක මහතාගේ අහසින් වැටුණා, රොෂාන් කුරුප්පුගේ බාලොලිමල්, ලක්මිණි, අමරදේවගේ ්රැුඛ ඉවරයි, රවීන්ද්‍ර විජේනායකගෙ සත් පියවරු වැනි නිර්මාණ එක්ක මා ගැන කතා වුණා.
ඉදිරියටත් රංගනයමද ජීවිතය?
වෙන දෙයක් දන්නෙ නැහැනෙ. ඒ නිසා වෙන දේ ගැන හිතන්නෙත් නැහැ.
පෙම්වතිය පේ‍්‍රමය නවත්තමුද? කියලා ඇහුවාම මොකද හිතුණේ?
පෙම්වතකු පුදුම වන එක එතකොට අහන්න දෙයක්යැ? ඉබේම නවත්තමු කියලා කියැවුණා එච්චරයි.
සටහන - සඳුන් ගමගේ