(මනෝප්‍රිය ගුණසේකර)
පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් නිකුත් කරනවද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය ලබන 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (12) දැනුම් දුන්නේය.
අධිකරණයේ පෙනී සිටින ලෙස පොලිස්පතිවරයාට සිතාසි නිකුත් නොකර, ප්‍රකාශයක් හෝ සටහන් කර නොගෙන ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කෙළින්ම වරෙන්තු නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි බව පවසමින් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතාත්, පැරා මිලිටරි කණ්ඩායමක් තබා ගෙන සිටි මොහු පොලිස්පතිධුරයේ තබා කොස්තාපල්වරයකු වශයෙන් වත් පොලිසියේ තබා ගැනීමට සුදුසු නැතැයි කියමින් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දිලීප පීරිස් මහතාත් පැය දෙකකට අධික කාලයක් පුරා දැක්වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව නියෝගය දීම මෙලෙස කල් තැබිණී.
තමන් අත්අඩංගුවට ගැනීමට නියම කරමින් මාතර මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ගොනු කළ ‘රිට් පෙත්සම’ සම්බන්ධයෙන් පැය දෙකකට අධික කාලයක් පුරා දීර්ඝ වශයෙන් ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය ඒ බව දැනුම් දුන්නේය.
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලීණි.