(සුජිත් හේවාජුලිගේ)
දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයෙන් නැතිකර අැති හෙයින් ඔහු නොදරන පොලිස්පති ධූරයක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට මන්ත්‍රීවරුන්ට බලයක් නොමැති බව හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
එසේම අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු කටයුත්තක් සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට හෝ ඒ පිළිබඳව කතා කිරීමට මන්ත්‍රීවරුන් ස්ථාවර නියෝග මගින් වළකා ඇති තත්වය යටතේ කතානායකවරයාට එවැනි යෝජනාවක් බාර ගැනීමට බලයක් නොමැති බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය මණ්ඩලයක් පොලිස්පතිවරයාගේ කටයුතු නතර කර ඇති හෙයින් කමිටුවක සභාපති ධූරය දරන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකුට තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරය දරන්නේය යන පදනම මත හිද ඔහු ඉවත් කිරීම සුදුසු බවට නිර්දේශ කළ හැකිදැයි විජයදාස රාජපක්ෂ මහතා ප්‍රශ්න කළේය.
පාර්ලිමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියෝග කළ නොහැකි නමුත් ඉහත යෝජනාව අනුමත කළහොත් ඉන් අදහස් වන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත්වීම නිවැරදි බව යැයි පැවසූ රාජපක්ෂ මහතා දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පොලිස්පති ධූරය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණයද පාර්ලිමේන්තුව නොපිළිගන්නා බව ඉන් ගම්‍ය වන්නේ යැයි ප්‍රකාශ කළේය.
විජයදාස රාජපක්ෂ මහතා මෙසේ පවසන්නේ රාජකාරී කටයුතු අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.