දොස්තර සංගමෙයි ඇමැතියි කැත්තට පොල්ල වගේ


සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම්වලට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඇඟිලි ගසතියි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය නලින්ද සොයිසා මහතා කියයි.

මීට පෙර වෛද්‍ය මාරුවීම් මණ්ඩලවල සේවය කළ තමා කිසිවිටකත් එම පත්වීම්වලට ඇඟිලි නොගසන බව රාජිත සේනාරත්න ඇමැති කියයි. තම භාර්යාව හා පුතා ගැන වෛද්‍ය සංගමය කරන චෝදනා ප්‍රලාප බව ඔහු කියයි.

‘මේක මාෆියාවක්. වෛද්‍ය සංගමය ඉල්ලන්නේ ඔවුන්ට ඕනෑ විදියට මාරුවීම් කරගැනීමටයි. එවැනි බලපෑම්වලට යටත් වෙන්නේ නෑ.‘ යැයිද ඇමැති පවසයි.

‘ඥාති සංග්‍රහය හොඳ නෑ කියන ගමන් විශ්‍රාම යන බිරියට තනතුරු දෙනවා. පදනම් දාගත් පුතාලා අමාත්‍යංශයෙන් සහනාධාර බෙදනවා. මේ වගේ වැඩ කලින් තිබුණේ නැහැ‘ යැයි වෛද්‍ය සොයිසා පවසයි.

‘අඟහරුවාදා දොස්තර වර්ජනය නවත්වා ගැනීමට අඟහරුවාදා උදේ 8 වනතුරු කල් තිබෙනවා‘  යැයිද දොස්තර සොයිසා සඳහන් කරයි.

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිසාන්ත දසනායක පවසනුයේ ඇමැති හා රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමයේ ආරවුල අලුත් දෙයක් නොවන බවයි.

‘පසුගිය වසර කිහිපයේ වෘත්තීය සමිතිත් සෞඛ්‍ය ඇමැති හා බලධාරිනුත් අනිසි ලෙස පත්වීම් ලැයිස්තු හැදුවා. මෙවර පුපුරා ගියේ අන්තිම වෙඩි මුරය. මේ වසරේදී සෞඛ්‍ය ඇමැතිවරයා අත්තනෝමතික ලෙස ඥාති සංග්‍රහය දක්වමින් වෛද්‍ය පත්වීම් සැකසීම වෛද්‍ය වෘත්තීයේ කීර්ති නාමයට පවා කැළැල්වන ලෙස සදාචාර සම්පන්න නොවන ප්‍රකාශ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සහාය දෙනවා‘ යැයිද ඔහු කීය.

IMG_2565

වීඩියෝ - ළහිරු හර්ෂණ