නාම යෝජනා ප්‍රතික්ෂේපයට හේතුව හිටපු මැකෝ කියයි



(බී. ජී. චතුරංග )
මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී යම් යම් පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල නාම යෝජනා ප්‍රතික්ෂේප වීම පනතේ (නීති) ගැටලුවක් හේතුවෙන් නොව මැතිවරණ කොමිසම ලබා දුන් උපදෙස් පිළිබඳව සැළකිලිමත් නොවීම සහ අවබෝධයක් නොතිබීමේ හේතුවෙන් සිදුවූවක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

කළ විමසීමකදී  අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ සමහර දේශපාලනඥයින් මාර්තු මාසයේ පනත සංශෝධනය කර දෙවතාවක්  දැනුම් දීම මත මේ ප්‍රතික්ෂේප වීම් සිදුවූවා  යැයි  සඳහන් කිරීම වැරදි ප්‍රකාශයක් බවත් එම  පළාත් පාලන පනත සංශෝධන සහිතව සම්මත වූයේ පසුගිය ආණ්ඩු සමයේ බවද පෙන්වා දුන්නේය.

තරුණ නියෝජනය පිළිබඳව එමගින් පැහැදිලිව සඳහන් කර ඇති අතර තමා විශ්වාස කරන පරිදි මැතිවරණ කොමිසම මගින් ලබා දුන් උපදෙස් මග හැරීම හේතුවෙන් මෙම චෝදනාව ඉදිරිපත් කරන බවට සිතන්නේයැයිද ඒ මහතා කීය.

මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය පසුගිය ආණ්ඩු සමයේ සම්මත කළ පනතට අනුව සිදු කරන අතර පැනවූ නීතියක් පිළිබඳව දැනුවත් නොවන බව හෝ අවබෝධයක් නොවූ බව නිදහසට කරුණක් නොවන බවද මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.